Monday, May 14, 2012

අයියෝ...!!! (දුක්මුසුව ලියමි...)


මා අවසන් වරට පල කල ලිපියේ මාතෘකාව සංවේගයෙන් දැනුම් දීමයි ලෙස යෙදුවේ ඉඳුරාම එම ලිපියේ මා අදහස් කල අදහස සිතෙහි තබාගෙන මිස දිගින් දිගටම සංවේදජනක මාතෘකා යෙදීමේ බලාපොරොත්තුවෙන් නොවේ. එම ලිපියෙන් පසු තුංමාසයක් ගතවුවද මා හට ලිපියක් පල කිරීමට නොහැකිවූයේ මාගේ විවිධාකාර අධ්‍යාපන කටයුතු, රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ(මෙය දැන් වෘත්තයේ මට්ටමෙන් සිදුවන බව කරුණවෙන් සලකන්න. සම්මුඛ පරීක්ෂණ සඳහා යෑමට වැයවන ගමන් ගාස්තු එකතු කර බැංකු ගිණුමක දැම්මා නං රැකියාවක් ලැබෙනවාට වඩා ලාභදායීය) හා වෙනත් කටයුතු එක දිගට යෙදීමත් ඒ මගින් ඇති වූ දැඩි විඩාව නිසා ඇතිවන කම්මැලිකමත්(මා හට ආවේණිකදැයි සැකයක් පවතී) හේතුවෙනි. කාලය කලමණාකරනය කර ගතහොත් ලිපියක් දැමීමටම තරම් නොහැකි තත්වයක් නොතිබුණද මානසික මට්ටම ලිපියක් දැමීමට තරම් නරවුල් මට්ටමක නොතිබිණි. කෙසේ වුවද මාගේ නොසැලිකිලිමත් බාවය 45%ක්ද මේ නොහැකියාව තුල ඇති බව මා සිතට නැගෙනුයේ මා හටද දෝෂාරෝපණයක් එල්ල කරගනිමිනි. තව මසක් ඇතුලත මා නැවතත් බ්ලොග් ලිවීම අරඹන බව දිනපතා සිතූ නමුත් මේ වන විටත් ඇරඹීමට නොහැකි විය. අවුරුදු උත්සවයට පැමිණීමටද දැඩි ආශාවකින් පසුවුවද එයටද කොහේන්දෝ බාධාවක් ඇති විය. ඒකෙන් මේකෙන් බ්ලොග් ලිවිල්ල කල් යන අතරතුර හදිසියේ දැනගන්නට ලැබුණේ අප සදාදරණීය බ්ලොග්කරුවෙකු වන ආදරණීය ඔබා මාමා අප තනිකර ගොස් ඇති බවය. ඒ පණිවිඩය දැනගත් විගස දැඩි කම්පනයක් හා ශෝකයක් ඇතිවිය. ඒ විගසම ඔබා මාමාගේ බ්ලොග් කෑල්ල දෙස රවුමක් ගසා ගැමියා අමතා විස්තර ඇසූපසු ඔහු දන්නේද නැත, පසුව ඔහු සියල්ල සොයා මා හට පැවසීය. සිංහල බ්ලොග්කරුවන් අතර අසමසම ආකර්ෂණයක් දිනා සිටි ඔබා මාමා මුණ ගැසීමට මාද සිටියේ දැඩි ආශාවකිනි. ගැමියා ඔබා මාමා සමඟ ගත් ඡායාරූපය මට මේ මොහොතේ සිහිවේ. එය පෙන්වා ඔහු මහත් ආඩම්බරයෙන් පැවසුයේ මම ඔබා මාමා එක්ක ෆොටෝ එකක් ගත්තා යනුවෙනි. සිහිනෙකින්වත් නොසිතූ මෙම නික්ම යාම තවමත් මා හට සිහිනයක් වැනිය. සත්‍ය වශයෙන්ම මා මෙම සටහන ලියනුයේ ප්‍රබන්ධයක් ලියන්නාක් වැනි මනසකිනි. සැබැවින්ම සිතාමතා සජීවීකරණයක් මැවීමට උත්සාහකරමි. ඒ තරමට මෙය මෙම සිදුවීම වටහාගත නොහැක. අදහාගත හැකි වුවද නොහැකි වුවද සියල්ල සිදුවී හමාරය, සිංහල බ්ලොග් ලෝකය රසවත් කිරීමට සිටි අසමසම රචකයෙක් අප අතරින් වියෝ විය.
ඔබා මාමේ ඔබට නිවන් සුව...!!
උපදි උපදින ආත්මයක් පාසා අප අතරම සත්පුරුෂ ආශ්‍රයන් ඇතිව, සැප සම්පත්, ධන ධාන්‍ය, ගුණ යහපත්කම්, නැණ නුවන, ප්‍රඥාව වීර්යය, ඇතිව නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ඇති උපදීවා...!!

ප.ලි.  නොඳුටු අයියා/ සයුරි අක්කා/ ශානි අක්කා/ සෙන්නා අයියා/ ගැමියා/ පුංචි කුමාරිහාමි/ තරූ/ සම්මානි/ චතුබට්ටි... අනේ මම මේ ටිකේ පොඩ්ඩක් හිරවෙලා ඉන්නෙ හොඳේ. ආතක් පාතක් නැති ලක්ෂණයකුත් පෙන්නුම් කරනව හිටපුගමන්. මේ සීනිකෝන් ටික සෙන්ටිමෙන්ටල් වෙනව තව සති තුනක් යනකොට. ඊට පස්සෙ ඔයාලව බලන්න එනව හොඳේ. හිතේ කහටක් එහෙම තියාගන්න එපා හොඳේ. කොල්ල තාම ඉස්තාවරයක් හදාගන්න දඟලනව. ඉතිං මේ දවස්වල හොම්බෙංනුත් යනව ටිකක්. මගෙන් අතපසු වීමක් වුනානං සොරි හොඳේ. ආදරණීය සයුරී අක්කා, සෙන්නා අයියා.. ඔයාල දෙන්න මම ගැන අහල තිබුණ ගොඩක් සැරයක්. කොමෙන්ට්වලත් දැක්කා, මට ගැමියත් කිව්ව. තව කට්ටිය මාව හොයල තිබුණ. හැමෝටම ගොඩාක් ඉස්තූතියි හොඳේ මාව මතක් වෙලා මං ගැන හෙව්වට. නහුතෙට හොම්බෙං යන වෙලාවෙ ඔබා මාම වෙනුවෙන් පෝස්ට් එකක් දාන්න ආපු ගමං මේ. මම එහෙනං යනව හොඳේ, එසයිමන්ට් කෑල්ලක් තියෙනව ඉවර කරන්න. මේව පොඩ්ඩක් ලිහිල් කරගෙන එනව හොඳේ. සයුරි අක්කා, සෙන්න අයියා, ශානි අක්කා, ගැමියා... ඇතුලු හැමෝටම බුදු සරණයි...!!! ජය වේවා...!!!
උඩ තියෙන ෆොටෝ කෑල්ල ඉස්සුවෙ : මෙතනින්...
Related Posts Plugin for WordPress, Blogger...