Monday, January 9, 2012

ඔබට උරුම වු රිදුනු තැවුනු හද...


මගේ මේතරම් සියුමැලිද කළුගල්... ලිපියට අදහස් දක්වපු  THE THINKER ආදරණීය සහෝදරයගෙන් තමයි මට මේ ලිපිය ලියන්න කියල ඉල්ලීමක් ලැබුනෙ, එම ඉල්ලීම තුලින් මා ලද සතුට ජවය හා ධෛර්යය වෙනුවෙන් මුලින්ම මගේ හෘද්‍යෘංගම ස්තුතිය ඔහුට පලකරන්න ඕනැ, එමෙන්ම එම ගීතයේ විවරණයට අදහස් දැක්වූ මා හිතැති සියලුම පාඨක සහෘදයන්ට මාගේ හෘද්‍යාංගම ස්තුතිය. සදකඩ පහනක ගීතය මම මුලින් අනේක වාරයක් ඇසුවද එහි තේරුම පිළිබදව මටද එතරම් අදහසක් තිබුණෙ නෑ ඕං, පෙර ලිපියේ අදහස් තුල තිබූ ඉල්ලීම නිසා හා ඒ තුලින් ලද ධෛර්යය නිසා මං සෑහෙන කල්පනා කරල මේකට තේරුමක් ගොඩ නැගුව, මේක මම ඉදිරිපත් කරන්නෙ ප්‍රවීණ ගීත විචාරකයෙක් හෝ ප්‍රවීණ සාහිත්‍යධරයෙක් ලෙසට නොව සාමාන්‍ය දැනීමක් ඇති රසිකයෙක් හැටියට බවත් මුලින් කියන්න කැමති, අනෙක මෙය හුදෙක්ම මගේ සිතේ ඇදි චිත්‍රයක් අනුව මා විසින්ම ගොඩ නගා ගත්තක් වන අතර වෙනත් ඕනෑම අයෙකුට මෙය වෙනස් ආකාරවලින් ඉදිරිපත් කරන්න පුළුවන්.

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුනු රසයෙක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී...//

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදූ
ගව්වක් ඉහලක ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසත් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවුනු වැහි බිංදූ
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ...//


සඳකඩ පහනක කැටයම් ඔපලා...

හදවිල ඉපැදුනු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුනු කඳුලක්
සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වු රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...//
________________________
සුගායනය: සුනිල් එදිරිසිංහයන්.
පද රචනය: වොලී නානායක්කාරයන්.
සංගීතය: වික්ටර් රත්නායකයන්.

ඔන්න එහෙනම් මම වැඩේට බහිනව, මෙන්න මේකයි මගේ කතාව.
සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී...
සඳකඩ පහන කියන්නෙ අර්ධ කවාකාර වස්තුවක්නෙ, දේදුන්නත් ඒ වගේ නෙව. දේදුන්න කියන්නෙ පාට පාට දෙයක්, ඒ කියන්නෙ අලංකාර විසිතුරු දෙයක්, මේකට සඳකඩ පහනෙ තියෙන කැටයම් ටිකත් ගෙනල්ල දැම්මොත්. ඒ විසිතුරු බව දෙගුණ තෙගුණ වෙලා අලංකාරය තවත් වැඩි වෙනව. එතකොට මේ කියන්නෙ සදකඩ පහනෙ තියෙන කැටයමුත් එකතු වෙච්ච අලංකාර වර්ණවත් දේදුනු ගැන. රචකය මෙතෙන්දි මේ විශේෂිත වු දේදුනු තමා දකින රූමත් තරුණියන් දැක්වීමට යොදාගන්න ඇති කියලයි මට හිතෙන්නෙ. මම මේ ගීතය දකින විදියට කොතරම් රූමත් තරුණියන් මේ රචකයාගේ නෙත ගැටුනද ඔහු පතන්නේ වෙනත් තරුණියක්, ඔහු ඒ තරුණිය සමග කතාබහක යෙදෙනව.

කැලැතුනු රසයෙක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ...
රසයක් හැදෙන්නෙ විවිධාකාර දේවල් රාශියක් එකතු වෙලා නෙ. ඉතින් මේ රචකයත් තරුණියත් කතාබහ කරද්දි දෙදෙනාගේ අදහස් එකිනෙකාට කියද්දි මේ දෙදෙනාගෙ සිත් තුල විවිධාර සිතුවිලි ඇතිවෙනව. ටික ටික මේ සිතුවිලි එකිනෙක පෑහෙන ගතියක් පෙන්නුම් කරන්න පටන් ගන්නව, ඊට පස්සෙ මේ දෙදෙනාගෙම සිතුවිලි එකම රසයක් බවට පත් වෙනව, රසයක් කිව්වෙ සිතුවිලි කිහිපයකින් සමන්විත තනි විශාල සිතුවිල්ලක් කියල හිතන්නකො. දැන් මේ දෙදෙනාටම අයිති මේ තනි විශාල සිතුවිල්ලෙ බුබුළක් පැන නගිනව. මේ බුබුල දෙදෙනාම විසින් තනන ලද නමුත් හංගා ගෙන හිටපු දෙයක්, හැබැයි බුබුක් කියන දේ ජලය තුලදි උනත් අනිවාර්යෙන්ම උඩට එනවනෙ, ඒ වගේ මේ බුබුලත් හංගන්න බෑ උඩට එනව, හැබැයි මේක දෙන්නටම අයිති. ඒ කිව්වෙ දෙන්නම එකිනෙකාට ආදරේ කරල රහසින්, ඒක දැන් දෙන්නම ප්‍රකාශ කරල. මේ පද පේලිය දිහා මම දකින්නෙ මේ විදියට.

ඊට පස්සෙ මේ දෙන්න ආදරණීය කතාබහක යෙදෙනව, රචකයට සිතනව මේ තරුණිය ස්ථිර වශයෙන්ම තමාට ආදරෙයි, මෙය තමයි තමා මෙතෙක් කල් සෙවූ ආදරය, තමන්ට දැන් එය නියත වශයෙන්ම ලැබුණ කියල. 
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී... මෙන්න මේ පද පේලි දෙක තමා මම ඒ විදියට දැක්කෙ. හැබැයි මේ ආදරණීය කතාබහ ඔස්සේ තරුණිය තමන්ගෙ අතීතය කරා මේ රචකයාව රැගෙන යනව. අතීතයේ දේවල් මේ රචකයට කියන්න කියන්න මොහුගේ හිතේ උපන් ආදරය ටිකෙන් ටික ටිකෙන් ටික මැලවෙන්න පටන් ගන්නව. මම මේ විදියට දැක්කෙ පහත පද පේලි දෙක.
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී...  මෙතෙන්දි ඈ ගෙන යනවා කියන්නෙ රචකයා ඇයව ගෙනයනව නෙමෙයි ඇය රචකයාව ඇගේ අතීත මතකයන් ඔස්සේ ගෙන යනව කියන එකයි, සියුමැලි කැකුල ලෙස උපමාවක් යොදා හදුන්වා ඇත්තේ රචකයාගේ හිතේ තරුණිය කෙරේ උපන් ආදරයයි, මෙය ඔහුගේ ප්‍රථම පෙම විය හැක බව ගීතය අධ්‍යයනය කිරීමේදී මට නිරායාසයෙන්ම හැ‍.ඟෙනව.

දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බිංදූ.. ඒ කියන්නෙ රචකයාගේ  හිත තුළ තරුණිය කෙරේ උපන් ආදරය නම් වූ මලේ දහසක් වූ පෙති මත හැම පෙත්තක් පෙත්තක් ගානෙම තරුණියත් තම ආදරය ප්‍රකාශ කරල, රචකයගෙ හිතෙනුත් දැන් තරුණිය කෙරේ ආදරය වෑහෙනව, ඒ ආදරයත් තරුණිය යහමින් විදින බවක් රචකයට දැනෙනව, ඒ අතරතුර තමයි මේ තරුණිය තම අතීත ආවර්ජනය කරන්නෙ. 
ගව්වක් ඉහලක ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ...
මෙහිදී තරුණිය රචකයාගේ ආදරයට තමාගේද අකමැත්තක් නොමැති බව අඟවනව, රචකයාගේ ආදරය තමාට මහාර්ඝ වස්තුවක් බවට තරුණිය කල ප්‍රකාශය දැක්වීම සදහා ගව්වක් ඉහලක ගොනු කොට රදවා... යෙදුම යොදන්නට ඇති බවයි මගේ හැගීම, ඉතින් රචකය හිතනව තමාට දැන් තරුණිය හිමි, ඇය තමාට ආදරෙයි කියල. රචකයාගේ හිත සතුටින් පිරිල මුවට සිනාවක් නැගෙනව, ඒක තමයි පොපියන දෙතොලක් එහි කැන්දූ.. කියන  එකෙන් කියන්නෙ. මම ඒක දැක්කෙ ඒ විදියට.

හැබැයි මේ තරුණිය, රචකයාගේ ආදරය තමාට අවශ්‍ය බවත් එය තමාට මහාර්ඝ වස්තුවක් බවත් ප්‍රකාශ කල සැනින් ඒ හා සමගම තවත් දෙයක් ප්‍රකාශ කරනව. ඒ ප්‍රකාශයත් සමගම රචකයාගේ මුහුණ අදුරුවී දෙනෙතට කදුළු උනන්න පටන් ගන්නව, පහත පද පේලි දෙක තමා මම ඒ විදියට දැක්කෙ.
අහසත් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවුනු වැහි බිංදූ...
මෙහිදී තරුණිය තම අතීත ආවර්ජනයක් කර කරනෙ ඉන්නෙ, ඉතින් මේ අතීත කතාව ඇතුලෙ තරුණිය කියනව මට ඔබේ ආදරය ලබන්න කැමතියි හැබැයි ඔබේ ඉල්ලීමට මට එකග වෙන්න බෑ, මොකද මීට පෙර ඉදන් මට ආදරේ කරන තව කෙනෙක් ඉන්නව. පහත පද පේලි දෙක තමා මම ඒ විදියට නිර්වචනය කලේ.
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ... මෙතෙන්දි ඈ ගෙන යද්දී නටබුන් අතරෙක කියන්නෙ තරුණිය විසින් රචකයාව අතීතය කරා රැගෙන යද්දී කියන එකයි, තවෙකෙක් ඈ වෙත හද රැන්දූ...  මීට පෙර ඉදන් ඈට ආදරේ කරපු තව එකෙක් එතන.

හදවිල ඉපැදුනු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත්සමුදුරකට මුහුව ගියා...
දැන් මේ රචකයාගේ හිතේ පිපුනු ආදර මල අර තරුණිය විසින්ම ගලවල විසි කරල, රචකයාට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනව,රචකයාගෙ දෙනෙතට කදුළු නැගෙනව. 
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත්සමුදුරකට මුහුව ගියා...
කියන යෙදුම යොදාගෙන ඇත්තේ රචකයාට දැනෙන දුක කෙතරම්ද යන්න දැක්වීමටයි. ඒක තව විදියකට කියන්න පුළුවන් කියල මට හිතෙනව. රචකයා තමාගේ දුක ගීයකට පෙරලුවාය කියන බවකුත් එයින් මට හැඟෙනව, ඒ මොකෝ එතන කියන්නෙ සත්සමුදුරකට මුහුව ගියා... කියල නෙව. ඒක සප්තපස්වරය කියලත් ගන්න පුළුවන්දෝ කියල මට හැඟෙනව.

ඔබට උරුවු රිදුනු තුවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
ඊට පස්සෙ රචකය කියනව මේ සිත උරුම නුඹටයි, ඒ හිත දැන් රිදිල තැවිල ඉන්නෙ නුඹ නිසා, මට වෙන කෙනෙක් ගැන සිතන්නට අමාරුයි, හරියට මගේ සිත එක් ටැමක තියෙනව වගේ. නුඹ කවදක හරි මා වෙත එන තෙක් මගෙ හිත එක්ටැම් ගෙයි කවුළුවෙන් බලා සිටිනව. ඔන්න ඕක තමා මේ ගීයෙන් මම ගොඩ නගපු කතාව.

ප.ලි. මෙකෙ ලිව්වෙ ඉතින් මට හිතෙන දේ හොදේ, මම මේක ලියන්නෙ ගීත රසිකයෙක් හැටියට මිස සාහිත්‍ය විචාරකයෙක් හෝ ගීත විචාරකයෙක් හැටියට නොවෙන බව නැවතත් කියන්න ඕනෙ. මේ පැත්තට ආව එකේ මොනව හරි පොඩ්ඩක් ලියල යන්නත් අමතක කරන්න එපා හොදේ, නොලීව කියල හිතේ කිසිම කහටක් අමනාපයක් නෑ ඕං... 
*සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතය අහනව නම් මෙතැනින් : http://www.youtube.com/watch?v=ygbmy-xTRA0

18 comments:

  1. මට නම් මේ සිංදුව ඇහුවාම මේ කිසි දෙයක් හිතුනේ නෑ උඹේ පරිකල්පන මෙව්වා එකනම් උපරිමයි මන්ඩි....මට හම්බුනා මේ ගීතය ගැන උඹ ලියපු විචාරයට සමාන අදහසක් ඇති බ්ලොග් කථාවක් මේක කියවලා බලන්නකෝ වැඩියම නෙමේ පුංචි පුංචි සමානකම් තමයි දැක්කේ
    http://ansathudinapotha.blogspot.com/2012/01/touch-love.html

    ReplyDelete
  2. @ගැමියා,
    අර කියන්න වගේ ඒකත් පට්ටම කතාවක්නෙව බොල. බොහෝම ස්තූතියි ඈ මගේ ලිපිය අගය කිරීම සම්බන්ධයෙන්.

    ReplyDelete
  3. උඹේ අදහස් හරිද වැරදිද මන් දන්නේ නෑ.මොනවා උනත් දිගටම ලියපන්.වැඩේ මසුරන්!

    ReplyDelete
  4. මන්ඩි මලේ, උඹනම් හැබෑම දස්සයා...මාර ලස්සනයි.. උඹ හිතන විදිහ..

    මමනම් හුගක් වෙලාවට සංගීත රසය තමා රස විදින්නේ .. වචන වල අර්ථ ගැන එතරම් පන්නන්නෑ... බලපුවාමා මාර කතාවක් තියනවා නේද.. ?

    මම මේ ලගකදි කියෙව්ව.. විකටර් රත්නායක මහත්තයගේ තව ලස්සන සිංදුවක් වෙච්ච " සඳ කැන් වැටිලා.. " ගීත කව්දෝ ඔය වගේ අර්ථ ගන්වලා... මාරම ලස්සනයි... තමාව හැර යන බිරිඳ දිහා උපේක්ශාවෙන් බලන් ඉන්න සැමියෙක් ගැන තමා ඒකෙන් කියවුනේ...

    ReplyDelete
  5. "කැලැතුනු රසයෙක පැන ආ බුබුලක්" මේක අහනකොට හැමදාම මට නිකං හිතෙන්නේ කුනුහබ්බයක් වගේ....ඒ මට හිතෙන හැටිද මන්දා....මන්ඩියට හිතිලා තියෙන්නේ වෙන විදියකට...එළ ඈ...

    ReplyDelete
  6. නියමයි මණ්ඩි... ඔහොම යං... මේක කියවන කල්ම මට මේ වලක් හිතුනේ නෑ

    ReplyDelete
  7. අනේ මන්ද මටත් නම් අර්ථයට වඩා සංගීතෙට තමා හිත යන්නෙ...
    හ්ම්ම් හ්ම්ම්..ඉස්සරහට යං, ජයවේවා!!!

    ReplyDelete
  8. @සචී,
    අගය කිරීම හා දිරිගැන්වීමට බොහෝමත්ම ස්තූතියි සචී.
    ____________________________________

    @Senna අයියේ,
    බොහෝම ස්තුතියි ඈ අගය කිරීම වෙනුවෙන්, "සඳ කැන් වැටිලා.." කියන්නෙත් පට්ටම සින්දුවක්නෙව බැලුවම..
    ____________________________________

    @ඔබ නොදු‍ටු ලොවක්,
    මමත් පොඩ්ඩක් ඔය පැත්තට හැරෙන්න ගියා, ඒත් ඒක ලියන්න චා..චා.. වගේ, අපි රචකයාව සවුත්තු කලා වගෙයි කියල හිතුන එහෙම ලිව්වොත්. අපි දන්නෙ නෑනෙ සහෝ රචකය මේක මොන පරමාර්තයෙන් ලිව්වද කියල. මිනිහගෙ තුන් හිතකවත් එහෙම දෙයක් නොතිබුනොත් මම චාටර් හිතක් තියෙන එකෙක් වෙනවනෙව, ඔන්න පැහැදිලිවම රචකයත් චාටර් නම් කමක් නෑ, එතකොට මම බේරිලා නෙව... බොහොමත්ම ස්තූතියි ඈ අගය කිරීමට හා අදහස් දැක්වීමට..
    _____________________________________________

    @Chathuranga Perera,
    මටත් මේක ලියන්න පටන්ගන්න කම්ම මෙහෙම වගක් හිතුනෙ නෑ නෙව... හැක්... හැක්... බොහෝමත්ම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා දිරිගැන්වීමට..
    _____________________________________________

    @Shani අක්කේ,
    මට පොඩි මෙන්ටල් අප්සෙට් එකක් තියෙනව සිංදුව අහන ගමන් තේරුම හිතන විදියෙ. ඉතින් තේරුම චා උනත් මට සිංදුව දිරවන්නෑ, සංගීතෙ චා උනත් සිංදුව දිරවන්නෑ... දෙකම පට්ට නම්, එකම සිංදුව රිපීට් කර කර අහනව. නැත්තම් සිංදුව කනෙන් තිබ්බත් අහන්නෑ. බොහෝමත්ම ස්තූතියි ඈ දිරිගැන්වීම හා අදහස් පලකිරීමට.

    ReplyDelete
  9. ඔබා මාමාගේ කොමෙන්ටුවක් දැකල තමයි මේක හෙව්වේ ..... ඔබගේ අදහස් අගෙයි ..... ඔය සින්දුවත් මාර ලස්සනයි....

    ReplyDelete
  10. @Harshana,
    අද නේද මේ පැත්තට මුලින්ම ආවෙ, සාදරයෙන් පිළිගත්ත ඕං.. බොහොම ස්තුතියි ඈ... අගය කිරීමට හා අදහස් දැක්වීමට.

    ReplyDelete
  11. මට සමාව දියන් සහෝදරයා..මම වෙනුවෙන් මගේ බලවත් ඉල්ලීමට උඹේ සොදුරු සිතුවිලි අකුරුකරලත් උඹට ස්‌තූතියිවත් නොකිවට...
    මම මේ දවස්‌වල පට්‌ට හිරවිල්ලක්‌ හිරවෙලා බන් ...නිවාඩු පාඩුව මේක කියෝලා ආයෙමත් රසවිදින්නම්
    උඹට සොදුරු හිතක්‌ තියෙන්නෙ යාලුවා....

    ReplyDelete
    Replies
    1. අයියෝ...ඒක අවුලක් නෑ සහෝදරයා... මේක බලල රසවින්ද නම් ඒක තමයි මම ලබන ලොකුම සතුට. බොහෝමත්ම ස්තූතියි ඈ අගය කිරීම සම්බන්ධයෙන් හා අදහස් දැක්වීම සම්බන්ධයෙන්... මමත් හිරවෙලා අප්පා.. කාලෙකට පස්සෙ බ්ලොග් කෑල්ල පැත්තෙ ආවෙ, නිවාඩු පාඩුවෙ මේ පැත්තෙ එන්නකො... ජය වේවා...!!!!

      Delete
  12. සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
    සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.
    සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී,තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා.පාවෙන දේදුනු කියල උපමා කරන්නෙ ඒ මිනිසුනට.
    කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ,මේ තහනම් ඇසුර කැලැතුනු රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැනියත් පමනයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනව.ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන වුනත් සමාජයේ ගැරහුමට ලක්වෙනව.
    යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙදදී,මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනව.ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට ගෙනියනව.එතකොට ඒ ගැහැනියගේ දරුවා නිවසේ තනි වෙනව.කැකුලකට ආරෝපණය කරල තියෙන්නේ ඒ දියනිය.අම්මව ඇසුරුකරන්න ළමයට තියෙන කාලය සීමා වෙනව.

    දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදූ ,ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඇය ගැන කියනව,ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනව.
    ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ,ඈ ගැන ආරංචි වුනු මිනිස්සු ගව්වක් ඉහලට බලාපොරොත්තු තියා ගෙන තමා ඈ ගාවට එන්නෙ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
    අහසත් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදූ,නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරනනේ කැමැත්තෙන් නෙමෙයි.තමන්ගෙයි දරුවගෙයි ජීවිතය වෙනුවෙන්.ඒක මේ පදයෙන් ගම්‍ය වෙනවා.
    ඈ ගෙන යද්දී නටඹුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දූ,ඒ පැමිණෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර වුනු ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයෙක් එනව.මේ විදියට ඈට තම ජීවිතය ගැට ගහගන්න මිනිස්සු රාශියකගෙ ආශාවන් පිරිමහන්න වෙනව.

    හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා,ඇගේ රැකියාව නිසා දරුවාට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනව.දියනියට සිදුවෙනව අකාලයේ අම්මව අතහැරල ඈතකට යන්න.
    මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක් සත්සමුදුරකට මුහුව ගියා,මේ කාන්තාව තමන්ගෙ දියණිය වෙන තැනකට යවන්නෙ ගොඩක් දුකෙන්.ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි.කදුලක් සත්සමුදුරකට එකතු වෙනව වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියනිය ඈතකට යැවීමට සිදුවීම දක්වන්න පුළුවන්.
    ඔබට උරුම වුනු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා,මේ කාන්තාව තමන්ගෙ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගෙ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා ඉන්නවා.

    මම දන්න විදියට මේ ගීතයේ තේරුම ගොනුකරා.වැරදි එහෙම තියෙනවනම් සමාව ඉල්ලනවා.

    ReplyDelete
  13. මෙම ගීතයේ අර්තය පහත පරිදිය :
    සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.
    ප්රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.
    එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.
    මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්රේමවන්තයා ද එසේ සිය ප්රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.
    කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.
    ප්රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත.
    පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි

    ReplyDelete
  14. සඳකඩ පහණ අළුතින්ම වින්ඳා.

    ReplyDelete
  15. නියමයි මරැ ඈ....ආදරේ හරි පුදුමයි නේද.?

    ReplyDelete
  16. මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි.

    සඳකඩපහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැළැතුණු රසයක පැන ආ බුබුළක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ

    සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.

    යුගයෙන් යුගයට නොමියෙන දහමක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකූළක් මැළවෙද්දී

    ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.

    එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.

    දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බිංදු
    ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
    පොපියන දෙතොළක් එහි කැන්දූ

    අහසක් ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහුවන වැහි බිංදු
    ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
    තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

    මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

    කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.

    හද විල ඉපැදුණු කැකුළක් නොකලට
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
    සත් සමුදුරකට මුහුව ගියා

    ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
    එක්ටැම් මැඳුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටියි බලා

    ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.

    මේ අනුව 'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...