Monday, January 30, 2012

මන්ඩිපාලගේ සින්ඩි පිටුව..

    
    මේක ඉතින් පොඩි කතාවක්. නිකම් ඉන්න ගමන් හිතිච්ච දෙයක්. මම ඉතින් බ්ලොග් කෙරුවාව පටන් අරන් දැන් වැඩි කාලයක් නෑ නෙව. ඉතින් ඔය ආපු ටික දවසට කොහොම කොහොම හරි පෝස්ට් කෑලි නමයක් දහයක් දා ගත්ත. ඉතින් පෝස්ට් කෑලි දාල විතරක් මදි නෙව, මේක කියවන්නත් උදවිය ඉන්න එපැයි. ඉතින් මගේ සහෘද බ්ලොග් කරුවන්ගෙ කාරිනියන්ගෙ බ්ලොග් අඩවි වලට ගිහින් එතනින් සින්ඩි හොයාගෙන සින්ඩි වලට ගිහින් මගේ බ්ලොග් කෑල්ලත් ඇඩ් කොලා. කොහොමින් කොහොමින් හරි සින්ඩි පහක් විතර හොයාගෙන තුනකට විතර දාගත්ත වෙලාව තියෙන හැටියට. ඉතින් මේ සින්ඩි කෙරුවාවත් මට ටිකක් විතර අලුත් රසවත් අත්දැකීමක් වුනා. මමත් ඉතින් කොච්චරවත් කොම්පියුටර තඩියක් එක්ක හැප්පෙන මිනිහ නෙව ඉතින් මගේ හිතට එක පාරට ආවෙ මමත් සින්ඩියක් කොලා නම් හොඳයි කියල. මම ඉතින් වැබ් ඩිවලොපින් එහෙම ටිකක් විතර ඇඟට දැනෙන එකෙක් නිසා සින්ඩියක් ඇතුලෙ සිද්ධවෙන කෙරුවාව එහෙමත් ටික ටික තේරුණා.

    ඒ පාර මම ෆේස්බුක් සිංහල බ්ලොග් සින්ඩිය මෙහෙයවන දර්ශන විමුක්ති අයියන්ඩිට පොඩ්ඩක් වචනෙ දාල බැලුව, උන්දැ මට සින්ඩියෙ සිද්ධවෙන සේරම ටික පැහැදිලිව කිව්ව. අප්පේ.... සින්ඩියක් කරන්න ටිකක් නෙමෙයි හුඟක් දඟලන්න වෙන බව මට තේරුනා. ඉතින් මම කොලේ බුකිය ඇතුලෙ සින්ඩියක් හදාගත්තා. ඒක තමයි මේක. ඉතින් මේ....... මම කියන්න හැදුවෙ මගේ සින්ඩි කෑල්ලටත් ඔයාලගෙ බ්ලොග් ටික එකතු කරන්න. ඒකට අදාල සියලුම විස්තර මම ඒකෙ දාල තියෙනව, පොඩ්ඩක් ගිහින් බැලුවනම් බලන පරක්කුවට තේරෙනවා. අනෙක තමයි මේකට වඩා දරුණු සින්ඩියකුත් එලියට දාන්න මම හිතාගෙන ඉන්නෙ. ඒක මගේ_සින්ඩියේ_නම.එල්කේ කියල එන්නෙ, බුකිය ඇතුලෙ නෙමෙයි. ඉතින් ඒකට නම් ටිකක් කල් යනව මට. හැබැයි කල් ගිහිල්ල හරි හොඳ දරුණු පහසුකම් වැඩි සුපිරි සින්ඩියක් එලියට දානව. එතකන් මගේ බුකියෙ සින්ඩියට ඔයාලගේ බ්ලොග් ටික එකතු කරල මට සහයෝගයක් දෙන්න, දන්න කියන අයටත් කියන්න. ඉතින් මේ..... ඔය ටික කියන්න තමා තකහනියක් මේ පෝස්ට් කෑල්ල දැම්මෙ. එහෙනම් මම ගියා ඕං... පාන්දර හතරහමාරයි වෙලාව, දැන්වත් නිදාගන්න ඕනෙ.. හැක්... හැක්... ජය ශ්‍රී...!!!

Saturday, January 28, 2012

නිහඩ මෙහෙයුම | 01 වන පරිච්ඡේදය : වින්ස්ටන්ට්ගේ සැලසුම (03වන කොටස)

    

    විනාඩි විස්සක පමණ ගමනකින් පසුව මෝටර් රථය පෙන්ටගනයට ලඟා විය. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවන විට මෝටර් රථය එක්තරා කාමරයක් හරහා ගෙන යන ලෙස ආරක්ෂක නිලධාරී තැන විසින් රියදුරාට අණ කෙරෙනි. එම කාමරය තුලින් යන විට මෝටර් රථය පූර්ණ පරීක්ෂණයකට ලක් කෙරේ, එය ස්වයංක්‍රීයව සිදුවන්නකි. පරීක්ෂණය සමත් වු විට කාමරයේ ඊලඟ දොර ඇරේ, එයින් පිට විය හැක. වින්ස්ටන්ට් හා ෆෙඩ්රික් රැගත් මෝටර් රථය කිසිඳු ගැටලුවකින් තොරව මෙයින් පිටවිය. පෙන්ටගනයේ අමුත්තන් පිළිගැනීම සඳහා වන දොරටුව අසල මෝටර් රථය නතර කෙරිනි, ආරක්ෂක නිලධාරියෙක්විත් මෝටර් රථයේ පසුපස දොර ඇරියේය. ෆෙඩ්රික් හා වින්ස්ටන්ට් පිළිගැනීමට පෝල් ද එතැන සිටියේය. වින්ස්ටන්ට් මෝටර් රථයෙන් බැසගත් විගස පෝල් අතට අත දී සාදරයෙන් පිලිගත්තේය. 

"සුභ උදෑසනක් වින්ස්ටන්ට් මහත්මයා..."
"ඔබටත් සුභ උදෑසනක් පෝල් මහත්මයා..."

ෆෙඩ්රික්ටද ඒ හා සමාන පිලිගැනීමක් පෝල්ගෙන් ලැබිනි. වින්ස්ටන්ට් බොහොම සැහැල්ලුවෙන් මෙන් වටපිට බැලුවේය.

"අපි යමු වින්ස්ටන්ට් මහත්මයා, සියලු කටයුතු සූදානම් කරල තියෙන්නෙ..." පෝල් පැවසුවේය. 

තිදෙනාම ඇතුලට ගියේය. ඉතා දිගු කොරිඩෝවක් දිගේ පෝල් හා පිරිස ඇවිද ගිය අතර මග දෙපසම එකම ස්වරූපයෙන් යුත් කාර්යාලයීය කාමර පෝලිමට පිහිටා ඇත, නමුත් ඇතුල නොපෙනේ. සෑම දොරකම කුඩා ස්පර්ශක තිරයක් වැනි යමක් තිබේ. පෝල් එක්වරම එක් කාර්යාලීය කාමරයක් අසල නැවතින, මෙම කාමරයේ දොරෙහි වූ කුඩා ස්පර්ශක තිරය මත පෝල් තම වම් අතේ මහපට ඇඟිල්ල තැබූ විට එහි දොර ස්වයංක්‍රීයව විවෘත විය, සැබැවින්ම එය විදුලි සෝපානයකි. නමුත් ඒ වගක් බැලූ බැල්මට නොලෙනේ. විදුලි සෝපානයෙන් ඉහළ මාලයට පැමිණි විගස තිදෙනාම සාකච්ඡා පැවැත්වෙන ස්ථානයට ගියේය.

    වින්ස්ටන්ට් මීට පෙර මෙම ස්ථානට පැමිණ ඇතත් ඒ එක් එක් අවස්ථාවේදී පැමිණියේ එක් එක් මාර්ග වලිනි. කිසිම විටක එකම සෝපානය දෙවරක් භාවිත කල බවක් ඔහුට මතක නැත, එමෙන්ම ඉහලට ගිය සෝපානයෙන් පහලට ආ බවක්ද ඔහුට මතක නැත. වින්ස්ටන්ට් පේන්ටගනය හා ගනුදෙනු කල මුල් දවසේ පටන් අද දක්වාම එහි විශේෂ මෙහෙයුම් සම්බන්ධීකරන නිළධාරියා ලෙස වින්ස්ටන්ට්ට මුණගැසුනේ පෝල්ය. පෝල් සමඟ වින්ස්ටන්ට් පෙන්ටගනයේ රැස්වීම් වලට සහභාගී වූ වාර ගණන අතේ ඇඟිලි ගණන මෙන් දහගුණයකටත් වඩා වැඩිය. නමුත් පෝල්ගේ උපකාරයක් නොමැතිව වින්ස්ටන්ට්ට තවමත් පෙන්ටගනය තුල සැරි සැරීමට නොහැක, පෝල් වින්ස්ට්ටන්ට්ද කැටුව පෙන්ටගනය තුල සැරිසරන්නෙ එම හැකියාව ලබා ගැනීමට නොහැකි වන පරිදිය. මෙය පෙන්ටගනයේ ආරක්ෂාව වෙනුවෙන් පෝල් අනුගමනය කරන ක්‍රියාදාමයක් බව වින්ස්ටන්ට් හොඳාකාරවම දනී. වින්ස්ටන්ට්, ෆෙඩ්රික් හා පෝල් සාකච්ඡා පැවැත්වෙන ස්ථානයේ අසුන්ගෙන තත්පර කිහිපයකින් පෙන්ටගනයේ ප්‍රධාන නිළධාරීතැන ඇතුලු නිළධාරීන් දහදෙනෙක් පමිණ පැමිණ අසුන්ගත්තෝය. පෙන්ටගනයේ ප්‍රධාන ආරක්ෂක නිළධාරීතැන මුලසුන හෙබවීය. පසුව සාකච්ඡාව ආරම්භ විය. ප්‍රධාන නිළධාරීතැන තම මෙහෙයුම හා එහි මූලික ඉලක්කයන් පැහැදිලිකලේය. සෙසු නිළධාරීන්, පෝල් හා ෆෙඩ්රික්ද තම අදහස් ප්‍රකාශ කල පසු වින්ස්ටන්ට්ගේ අදහස පැහැදිලි කිරීමට අවස්ථාව ලැබුනි. සියලු දෙනාම ඔහුගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාදාමය හොඳින් හෝ නරකින් සාර්ථක කර ගැනීමට තාක්ෂණය කෙසේ භාවිතා කල හැකිද යන්නයි, ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ හා නිශ්පාදන කටයුතු වෙනුවෙන් පෙන්ටගනයේ අධිතාක්ෂණීක විද්‍යාගාර භාවිතා කල හැකි බවත් තව ඕනෑ තරම් මුදලක් මේ වෙනුවෙන් වැය කිරීමට ඇමෙරිකානු පාලනාධිකාරිය සූදානම් බවත් අවසානයේ කෙසේ හෝ මෙම කටයුත්ත සාර්ථක විය යුතු බවත් වැඩි දුරටත් කියා සිටියේය.

    ඉන්පසු වින්ස්ටන්ට් මෙහි ඇති අනිසිවිපාක හා හානිකර තත්වයන් පැහැදිලි කිරීමට කෙතරම් උත්සාහ දැරුවද එය නිශ්පල විය. මෙය ඇමෙරිකානු පාලනාධිකාරිය විසින් තමාට ලබාදී ඇති රාජකාරී කටයුත්තක් බැවින් මෙය වෙනස් කිරීම තමාට කිසිසේත් සිදුකල නොහැකි බවත් සිදුකල හැකි එකම දෙය මෙය ක්‍රියාත්මක කිරීම බවත් මුලසුනේ එකම ප්‍රකාශය විය. තමාට මෙයින් ගැලවීමට කිසි විටකත් නොහැකි බව වින්ස්ටන්ට්ට හොඳන්ම වැටහී ගියේය. අනතුරුව සියලු දෙනාම වින්ස්ටන්ට්ගෙන් විමසූ ගැටලුව වූයේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් කොතරම් මුදලක් අවශ්‍යද යන්නයි. මේ සඳහා අතිවිශාල මුදලක් අයකලයුතු බව ප්‍රකාශ කිරීම තුලින් මෙම කොන්ත්‍රාත්තුව වෙනත් විද්‍යාඥයෙකු පිට පටවා තමාට නිදහස් විය හැකිනේදැයි වින්ස්ටන්ට්ට සිතිනි. වින්ස්ට්ටන්ට් මඳක් කල්පනාකොට තම මුදල ඉදිරිපත් කලේය, එහි වටිනාකම මෙම ව්‍යාපෘතිය සඳහා වන සාධාරණ මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

"නෑ වින්ස්ටන්ට් මහත්මයා එහෙම නෙමෙයි, අපි ඔබේ මේ මුදලට අමතරව තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 80ක් කොන්ත්‍රාත්තුව වශයෙන් ඔබට ගෙවන්න සූදානම්...." යැයි ඇස් ලොකු කරමින් ප්‍රධාන නිළධාරීතැන පැවසීය. 

සෙසු නිලධාරීන් මුහුණට මුහුණ බලන්න විය. සැබැවින්ම එතරම් මුදලක් මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ඇමෙරිකානු පාලනාධිකාරිය විසින් වෙන්කර තිබිණි. එය ඇසූ විට වින්ස්ටන්ට් ගැස්සී තොලකට වේලී ගියේය, ඔහු එක් වරම බිම බලාගත්තේය.

"නෑ... මේ... මම කියන්න හැදුවෙ මහත්වරුනි...." වින්ස්ටන්ට් යමක් කීමට උත්සාහ දැරීය.
"ඔව්, හරි වින්ස්ටන්ට් මහත්මයා... අපි මේ මුලු මුදලින් හරි අඩක් අත්තිකාරම් වශයෙන් ඔබේ බැංකු ගිණුමට බැර කරනව, දැන් ඔබ නිවසට යන අතරතුර බැංකු ගිණුම පරීක්ෂා කරන්න... ඉතිරි මුදල් ඔබේ සැලසුම් හා නිර්මාණ කටයුතු අවසාන වූ වහාම ගෙවනව...." වින්ස්ටන්ට්ට වචනයක්වත් කීමට ඉඩනොදී ප්‍රධාන නිලධාරීතැන එක හුස්මට කියාගෙන ගියේය.

පෙන්ටගනයේ නිළධාරීන්ට වින්ස්ටන්ට් ගැන කිසිඳු සැකකයක් නැත, වින්ස්ටන්ට් මෙම කර්තව්‍යය තුල සිටියහොත් අනිවාර්යෙන්ම මෙය සාර්ථක වන බව ඔවුන් හොඳාකාරවම දනී. නමුත් මෙම කර්තව්‍යයට වින්ස්ටන්ට් අදිමදි කරන බව පෙන්ටගනයේ ප්‍රධානීන් වෙත ෆෙඩ්රික් විසින් කල්තියාම දැනුම් දී තිබිනි. එබැවින් වින්ස්ටන්ට්ට මෙයින් ගැලවී යාමට නොහැකි වන ලෙස ඔහු සමඟ ගනුදෙනු කලයුතු බව පෙන්ටගනයේ ප්‍රධානීන්ගේ තීරණය විය. තමාට මෙයින් ගැලවිය නොහැකි බව දැන් වින්ස්ටන්ට්ටද සක්සුදක් සේ පැහැදිලිය. මෙයින් ගැලවීමට මීට වඩා උත්සාහ දැරීම තමාට තර්ජනයක් විය හැකි බවද වින්ස්ටන්ට්ට වැටහී ගියේය. වින්ස්ටන්ට් නිහඬව සිටියේය.

"හරි වින්ස්ටන්ට් මහත්මයා ව්‍යාපෘති වාර්තාව හා මූලික සැලසුම් ඉදිරිපත් කිරීමට ඔබට කොතරම් කල් අවශ්‍යද...?" ප්‍රධාන ආරක්ෂක නිලධාරීතැන විමසා සිටියේය.
"ම්........ සමහර විට මාස එකහමාරක් පමණ අවශ්‍ය වෙයි කටුවට සැලසුම් කරගන්න... කොහොමත් මාස දෙකක් දෙකක් විතර ඕනෙ වැඩේට, මොකද මීට වඩා කල් අරන් සැලසුම් කරන්නත් බෑනෙ සම්පූර්ණ මෙහෙයුමට ලැබිල තියෙන කාල පරාසයත් එක්ක බැලුවම... මාස දෙකකින් සම්පූර්ණ සැලසුමක් ඉදිරිපත් කරන්නම්... ඊට පස්සෙ මාස දහයක් ඇතුලත වගේ නිර්මාණ කටයුතු අවසන් කලොත් මෙහෙයුමට තව මාස අටක් තියෙනව... ඒ කාල සීමාව ඇතුලත සියලුම උපකරණ නැවත පරීක්ෂා කරන්න පුළුවන්..." වින්ස්ටන්ට් මඳක් කල්පනා කොට පැවසුවේය.

මතු සම්බන්ධයි..
______________________________________________________________________________
නිහඩ මෙහෙයුම -
නිහඩ මෙහෙයුම යනු හුදෙක්ම මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතා මාලාවකි. මෙය මුලුමනින්ම මාගේ ස්වයං නිර්මාණයක් වන අතර සියලුම සිදුවීම් හා නම් මනඃකල්පිතය.
ප.ලි. අඩුපාඩු තියේ නම් කියල යන්න ඈ... ඒ නැතත් අදහසක් දක්වනව නම් සතුටුයි ආයිබොවන්, නැතත් හිතේ කහටක් අමනාපයක් නෑ ඕං, කියවල රස වින්දනම් එච්චරයි මට තියෙන සතුට....

Friday, January 20, 2012

නිහඩ මෙහෙයුම | 01 වන පරිච්ඡේදය : වින්ස්ටන්ට්ගේ සැලසුම (02වන කොටස)

    
    "හොදයි වින්ස්ටන්ට් මහත්මයා...." තමා බ්ව් වීදුරුව මේසය මත තබමින් ෆෙඩ්රික් පැවසීය. "නෑ....මේ.... මම කල්පනා කලේ මට වැඩිය දක්ෂ ඉංජිනේරුවන් ඕනෙතරම් වොෂින්ටනයෙ ඉදලත්...." වින්ස්ටන්ට් තමා ඉදිරිපස වූ ටීපෝව මත ඇති මල් බදුන දෙස බලමින් පැවසීය." නෑ.... අපි ඒක හෙට කතාකරමු, මට තව වැඩ ටිකක් තියෙනව... එහෙනම් නොවැරදීම හෙට උදේ අටහමාර වෙනකොට අපේ මූලස්ථානයට එන්න. මම ගිහින් එන්නම්...." ෆෙඩ්රික් වින්ස්ටන්ට්ට සමුදුන්නේය. මේ කුමක් සිදුවීමට යන්නේ දැයි වින්ස්ටන්ට්ට සිතා ගැනීමට නොහැකිය. ෆෙඩ්රික්ගේ සමුදීම නොතැකූ වින්ස්ටන්ට් තවමත් අසුන මතට වී බලාගත්වනම බලා සිටී. සත්‍ය වශයෙන්ම මෙය සැලසුම් කිරීමට හැකියාවක් වින්ස්ටන්ට්ට ඇත, නමුත් එය කෙතරම් දුරට සාර්ථක වේ දැයි ඔහුට සිතාගත නොහැකිය. වින්ස්ටන්ට් තමා සිටි අසුනෙන් නැගිට තම කාමරය දෙසට ගමන් කිරීමට සැරසෙන විටම දුරකතනය නාද විය. "හෙලෝ.........." වින්ස්ටන්ට් මහතා මහත් හිසරදයකින් පෙළෙන අයෙකු මෙන් පැවසීය. "හෙලෝ..... වින්ස්ටන්ට් මම ෂෙරීනා.. කොහොමද ඔයාට, අද පුතාල දෙන්නට ඉස්කෝලෙ නිවාඩු... මම එයාලත් එක්ක සතුටු උයනට යන්න ලෑස්ති වුනේ...."  ෂෙරීනා යනු වින්ස්ටන්ට්ගේ බිරිදයි. වින්ස්ටන්ට්ගේ බිරිද හා පුතුන් දෙදෙනා වාසය කරනුයේ ස්විට්සර්ලන්තයේය. ඒ ෂෙරීනාගේ මව් බිමයි. වින්ස්ටන්ට්ද කලක් ස්විට්සර්ලන්තයේ වාසය කල අතර පර්යේෂන කටයුතු නිසා ඇමෙරිකාවේ මවුන්ටන් වීව්හි නිවසේ දැනට පදිංචිව සිටී. නමුත් තම බිරිද හා පුතුන් දෙදෙනා බෑලීමට වින්ස්ටන්ට් සෑම දෙමසකට වරක්ම නොවැරදීම ස්විට්සර්ලන්තයට යාමට පුරුදු වී සිටියේය. "ආ.... ඇත්තද ෂෙරීනා....මේ...මේ.....මම හොදින් ෂෙරීනා...." වින්ස්ටන්ට් මහතා පිළිතුරු දුන්නේය. වින්ස්ටන්ට් ඔයා බය වෙලා වගේ, ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද... ඔයා ලගදි මේ පැත්තෙ එන්නෙ නැද්ද... පුතාල දෙන්න හැමදාම අහනව තාත්ත එන්නෙ කවද්ද කියල....". "මේ.... නෑ ෂෙරීනා ප්‍රශ්නයක් නෑ.... මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි, මම පස්සෙ කතා කරන්නම්කො.... පුතාල දෙන්නට කියන්න තාත්තට මේ ටිකේ ටිකක් වැඩ කියල... මම තියන්නම් ෂෙරීනා.....". "හරි වින්ස්ටන්ට්...." දුරකතන සංවාදය නිම විය, එහි අග මැද මුල කිසිවක් වින්ස්ටන්ට්ගේ මනසේ නැත. වින්ස්ටන්ට්ගේ හිත තවමත් එක තැනක නැත. වින්ස්ටන්ට් කාමරයට ඇතුල් වෙත්ම සේවකයෙක් පැමිණ ටී-පෝව මත තිබු බිස්කට් හා කෝප්ප ඇතුලු අනෙකුත් දෑ කුස්සියට රැගෙන ගියේය. 

    පසුදින උදෑසනම ෆෙඩ්රික් තම මූලස්ථානයට පැමිණියේය. "සුභ උදෑසනක් ෆෙඩ්රික් මහත්මයා....". "අහ්.... සුභ උදෑසනක් මෙලන්කා මහත්මිය...." මෙලන්කා යනු ෆෙඩ්රික්ගේ නිල ලේකම්වරියයි. ඇය දැනට වසර තුනක පමණ කාලයක සිට මෙම තනතුර හොබවන්නීය. මීට පෙර ඇයද බුද්ධි අංශ නිලධාරිනියකි, ඇය උසස් වීමක් ලැබ මෙම ස්ථානයට අනුයුක්ත කර ඇත. "අපිට අද වැදගත් වැඩක් තියෙනව, පෙන්ටගන් යන්න ඕනෙ...." ෆෙඩ්රික් තම කාර්යාලයීය කාමරයට පැමිණ තමා අතේ තිබූ ලිපි ද්‍රව්‍ය මේසය මත තබමින් පැවසීය. "මම ඊයෙ සාකච්ඡාවෙදි කිව්ව කාරනේ මතක ඇතිනෙ, ඒකට අදාල ලිපි ලේඛණ ටික ලෑස්ති කරන්න. වින්ස්ටන්ට් මහත්මයා අටහමාර වෙනකොට මූලස්ථානයට එයි, ආපු ගමන් අපි යනව...." යැයි ෆෙඩ්රික් පවසන විටම ඔහුගේ මේසය මත වූ දුරකතනය නාද විය. "හෙලෝ සුභ උදෑසනක්, එල්.358...." ෆෙඩ්රික් පැවසීය. "සුභ උදෑසනක් ෆෙඩ්රික් මහත්මයා, අද හරියටම නවය වෙද්දි පෙන්ටගන් එන්න, කාරනේ මතක ඇතිනෙ. වින්ස්ටන්ට් මහතාගේ පැමිණීමත් අපි බලාපොරොත්තුවෙනව..." ඒ පෙන්ටගනයේ විශේෂ මෙහෙයුම් සම්බන්ධීකරන නිළධාරී පෝල් ඩේවිඩ්ය. "හරි පෝල් මහත්මයා අටහමාර වෙනකොට වින්ස්ටන්ට් මහත්මයා අපේ මූලස්ථානයට එයි, ඔහු ආපු ගමන් මම ඔහුත් සමඟ එනව.... හරි ෆෙඩ්රික් සුභ දවසක්". "සුභ දවසක් පෝල් මහත්මයා...." දුරකතන සංවාදයෙන් පසු ෆෙඩ්රික් මහතා තම කාර්යාලීය කාමරයේ කල්පනා බරව ඒ මේ අත ඇවිද ගියේය. මෙලන්කා මහත්මිය වැදගත් ලිපිගොනු එකින් එක පරික්ෂා කරමින් අවශ්‍ය දෑ ෆයිල් කවරයකට එක් කරයි. ෆෙඩ්රික් විටින් විය වෙලාව බලයි, දැන් වෙලාව උදෑසන අටයි විස්ස පමණ වී ඇත.

    එක්වරම කාර්යාලයීය කාමරයේ දොර ඇරුනි. "මහත්මයා මුණ ගැහෙන්න කවුද කෙනෙක් ඇවිල්ල...." ඒ මූලස්ථානයේ ආරක්ෂක නිළධාරී තැනයි. "පහළින් තියාගන්න, මෙලන්කා එයි..." ෆෙඩ්රික් පැවසීය. මෙලන්කා විදුලි සෝපානයෙන් පහළට ගිය විගසම ඉහළට පැමිණියාය. "ෆෙඩ්රික් මහත්මයා, වින්ස්ටන්ට් මහත්මයා ඇවිල්ල....".  "ආහ්.... වින්ස්ටන්ට් ඇවිල්ලද..." ෆෙඩ්රික් වේලාව බැලුවේය. වෙලාව අටයි විසිපහ වීමට තව විනාඩි දෙකකි. "ආ.... අටහමාරටනෙ යන්නෙ තව විනාඩි හතක් විතර තියෙනව, උඩට එක්කන් එන්න....." ෆෙඩ්රික් පැවසීය. ටිත වේලාවකින් මෙලන්කා සමග වින්ස්ටන්ට් පැමිණියේය. ඔහු සුදු උස මහත පුද්ගලයෙකි. මුහුණ පුරා පැසුනු රුවුල කොටට වැවී ඇත. දෙපසින් නළල විශාලව පෙනෙන පරිදි කොණ්ඩය ගැලවී ගොස් ඇති අතර පැසුනු දිග හිසකේ හිස මුදුණට වන්නට ඇත. කොණ්ඩය පිළිවෙලකට පීරා නොමැති අතර උදෑසන නා පිසදැමූ ආකාරයක් පෙනේ. වැලමිටට ටිකක් පහළට වන්නට නවන ලද දිග අත් ඇති කමිසයක්, දිග කලිසමක් හා සපත්තු යුගලකින් මොහු සැරසී සිටියේය. "සුභ උදෑසනක් වින්ස්ටන්ට්... ඉඳගන්න..." ෆෙඩ්රික් තම මේසය දිරියේ වූ අසුන දෙසට අත දික් කරමින් පැවසීය. "සුභ උදෑසනක්.. බොහෝම ස්තූතියි ෆෙඩ්රික් මහත්මයා...." වින්ස්ටන්ට් සිනාමුසු මුහුණින් ඉඳගත්තේය. එවිට මෙලන්කා තේ කෝප්ප දෙකක් බන්දේසියක තබාගෙන විත් ඒ අසල වූ කුඩා මේසය මත තැබීය. එවිටම "ගන්න වින්ස්ටන්ට්..." යැයි ෆෙඩ්රික් පවසන විට මෙලන්කා වින්ස්ටන්ට්ට බන්දේසිය ඇල්ලීය. "බොහොම ස්තූතියි.." යැයි පවසමින් වින්ස්ටන්ට් තේ කෝප්පයක් ගෙන මේසය මතින් තබා ගත්තේය, අනතුරුව මෙලන්කා ෆෙඩ්රික්ටද බන්දේසිය ඇල්ලීය. "මට මේ දැනට විනාඩි කීපයකට කලින් පෙන්ටගනයේ සම්බන්ධීකාරක නිළධාරීතැන කතා කලා. ඔවුන් ඔබේ පැමිණීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවකින් ඉන්නෙ......" ෆෙඩ්රික් තේ කෝප්පය රස බලමින් පැවසීය.

    මෙම කර්තව්‍යය භාර නොගෙන තමාට මෙයින් කිසිවිටකත් නිදහස් විය නොහැකි බව වින්ස්ටන්ට් හොදාකාරව දනී, ෆෙඩ්රික්ගේ ප්‍රකාශය වින්ස්ටන්ට්ගේ හිතට දැඩි පහරක් මෙන් දැනින. වින්ස්ටන්ට්ගේ හිතේ මෙම කාර්යය සම්බන්ධයෙන් ඇත්තේ සියයට සියයක අකමැත්තකි, නමුත් එය එක්වරම ප්‍රකාශ කළ නොහැක. "අහ්... ඒක ඇත්ත ෆෙඩ්රික් මහත්මයා, බොහෝම බැරෑරුම් වැඩක්නෙ. මට විශ්වාසයි මට වැඩිය හොද සැලැස්මක් වොෂින්ටනයේ තරුණ විද්‍යාඥයන් ඉදිරිපත් කරයි කියල...." වින්ස්ටන්ට් බොහෝම සැහැල්ලු පුද්ගලයෙකු මෙන් පැවසීය. "හරි වින්ස්ටන්ට් අපි පෙන්ටගන් යමු, අටහමාරයි වෙලාව....." ෆෙඩ්රික් තම ෆයිල් කවරය අතට ගනිමින් අසුනෙන් නැගිට්ටේය. වින්ස්ටන්ට්ද අසුනෙන් නැගිට ෆෙඩ්රික් පසුපසින් ගොස් විදුලි සෝපානයට ගොඩ විය. දෙදෙනාම බිම් මහලේ රථ ගාලට පැමිණ ෆෙඩ්රික්ගේ නිල මෝටර් රථයට ගොඩවිය. "නෝමන්, පෙන්ටගන් යමු....." ෆෙඩ්රික් පැවසීය. මෝටර් රථය වේගයෙන් ඇදෙන්නට විය. ෆෙඩ්රික් හෝ වින්ස්ටන්ට් කතාවක් නැත. මීලඟට තමා කරන්නේ කුමක්දැයි වින්ස්ටන්ට්ගේ සිත නිතරම ඔහුගෙන් විමසයි, එය ඔහුට කවදාවත් නොමැති තරමේ වූ හිසරදයකි. කෙසේනමුත් ඇමෙරිකානු පාලනාධිකාරි තවත් නොමනා තීරණයක් ගෙන ඇතිබව වින්ස්ටන්ට් හොඳාකාරවම දනී. එය වැළැක්වීමට වින්ස්ටන්ට්ට කිසි විටකත් නොහැකිය, ඔහුට අවශ්‍ය හැකි තරම් මෙයට සම්මාදන් වීමෙන් වැළකීමය. මීට පෙරද ඇමෙරිකානු පාලනාධිකාරිය සැලසුම් කරන ලද මෙහෙයුම් වලින් තමාගේ බිරිඳ වැනිම අහිංසක කාන්තාවන් තමාගේ පුතුන් වැනිම අහිංසක දූදරුවන් ඇතුලු අහිංසක සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් අමු අමුවේ ඝාතනය වූ අයුරු නිතරම ඔහුගේ හිතට වද දෙමින් සිහියට නැගේ. ඒ තමා යුද්ධ සැලසුම් කර ඇතිව හෝ යුද පිටියේ සටන් වැද ඇතිව නිසා නොවේ. මෑත කාලීන සංග්‍රාම සියල්ලකම පාහේ ඇමෙරිකාව භාවිතා කල නවීන අවි ආයුධ සියල්ලක්ම තමා සැලසුම් කරන ලද ඒවා බැවිනි. එහිදී ලෝකයාට තමා අතින් සිදුවූ අසාධාරණය නැවතත් සිදුකිරීමට වින්ස්ටන්ට්ගේ සිත කිසි විටකත් ඔහුට ඉඩ නොදේ.

මතු සම්බන්ධයි..
______________________________________________________________________________
නිහඩ මෙහෙයුම -
නිහඩ මෙහෙයුම යනු හුදෙක්ම මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතා මාලාවකි. මෙය මුලුමනින්ම මාගේ ස්වයං නිර්මාණයක් වන අතර සියලුම සිදුවීම් හා නම් මනඃකල්පිතය.
ප.ලි. අඩුපාඩු තියේ නම් කියල යන්න ඈ... ඒ නැතත් අදහසක් දක්වනව නම් සතුටුයි ආයිබොවන්, නැතත් හිතේ කහටක් අමනාපයක් නෑ ඕං, කියවල රස වින්දනම් එච්චරයි මට තියෙන සතුට....

Monday, January 16, 2012

නිහඩ මෙහෙයුම | 01 වන පරිච්ඡේදය : වින්ස්ටන්ට්ගේ සැලසුම (01වන කොටස)


    "ලබන අවුරුද්දෙ අවසානය වෙද්දි රුසියාව කරපු හැම පර්යේෂණයකම දත්ත ටික අපි ලග තියෙන්න ඕනෙ. තාම අප්‍රේල් නිසා මේ අවුරුද්දෙත් තව මාස අටක් විතර තියෙනව. න්‍යෂ්ඨික පැත්තෙන් සෑහෙන පර්යේෂණ ප්‍රමාණයක් හොර රහසේම කෙරෙන බවට අපේ බුද්ධි අංශ වාර්තා කරල තියෙනව. ඒක තමයි අපි මුලින්ම ඉලක්ක කර ගන්න ඕනෙ, ඒ වගේම තමයි කෘත්‍රීම බුද්ධිය සහිත යුධ අවි පිළිබදව කරන පර්යේෂණ කරන පර්යේෂණාගාරය ගැනත් අවධානය යොමු කරන්න ඕනෙ, බුද්ධි අංශ සැක කරන්නෙ රසායනාගාරයක් හැටියට පවත්වා ගෙන යන ස්ටෙලා මාර්ටින් ගොඩනැගිලි සංකීර්ණය ඇතුලෙ මේ පර්යේෂණ කරනව කියලයි, කොහොම වුනත් දැන්ම වැඩේට ලෑස්තිවෙන්න. බුද්ධි අංශ වල තොරතුරු අනුව වැඩේ සැලසුම් කරමු. අවසාන වශයෙන් මේ ටික තමයි දැනුම් දෙන්න තියෙන්නෙ. එහෙනම් මහත්වරුනි සුභ දවසක්. නැවත හමුවෙමු....." මේ ඇමෙරිකාවේ වොෂින්ටන්හි එල්.358 දරන ගොඩනැගිල්ලේ පැවැත්වෙන රහස් සාකච්ඡාවකි. අවසානයේ සියලුම නිළධාරීන් තම අසුන් වලින් නැගිට යන්නට විය. මෙම ක්‍රියාදාමයේ මූලිකත්වය පැවරී තිබුනේ ඇමෙරිකානු රාජ්‍ය හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වන ජෝන් ෆෙඩ්රික් මොරිසන්ස්ටය.

    අනිකුත් නිළධාරීන් සිය අසුන් වලින් නැගිට ගිය පසු ඔහු තම ලිපි ද්‍රව්‍ය ටික එකතු කර තම ෆයිල් කවරයට දා ගත්තේය. මේසය මත තිබූ පෑනද ගෙන සාක්කුවට දමාගත් මොහු තම අසුනෙන් නැගිට කාමරය තුල සෙමින් ඇවිද ගියේ මදක් කල්පනා බරවය. නිතරම කලු දිග කලිසමක් සුදු අත්දිග කමිසයක් කලු කබායක් හා කලු සපත්තු දෙකක් අදින මොහු දැවැන්ත සිරුරකින් හා මනා පෞර්ශයකින් හෙබි පුද්ගලයෙකි. මුහුණ පුරා කොටට වැවුනු රුවුල හා මදක් පැසුනු හිසකේ මොහුගේ පෙනුමට ගාම්බීර බවක් ගෙනදී ඇත. මෙම ක්‍රියාදාමය ලෙහෙසි පහසු එකක් නොවන බව මොරිසන්ස් හොදාකාරවම දනී, මේ සදහා කොතරම් දියුණු තාක්ෂණයක් යොදාගත්තද අසාර්ථක වීමේ සම්බාවිතාව, සාර්ථක වීමේ සම්බාවිතාව තරම්ම අගයක පවතී. ගොඩනැගිල්ලේ වීදුරු බිත්තියෙන් පහල බලමින් කල්පනාවක සිටි ෆෙඩ්රික් ක්ෂණිකව හැරී තම මේසය වෙත පැමිණ ඇමතුමක් ලබාගත්තේය. "හෙලෝ..... වින්ස්ටන්ට් මහාතා, ඔව් වින්ස්ට්න්ට් තමයි... මම ෆෙඩ්රික්.... මට ඔබත් එක්ක වැදගත් සාකච්ඡාවක් තියෙනව මුණ ගැහෙන්න පුළුවන්ද, හරි ෆෙඩ්රික් ඔබ මගේ නිවසට එන්න... මම අද ඉන්නෙ මවුන්ටන් වීව් වල... හරි බොහෝම ස්තුතියි වින්ස්ටන්ට්...." වින්ස්ටන්ට් යනු ඇමෙරිකානු රාජ්‍ය හමුදාව වෙනුවෙන් නවීන අවි ආයුධ සැලසුම් කරන විද්‍යාඥයන් අතරින් ප්‍රධානියයි, ඔහු කීර්තිමත් පරිඝණක, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික විද්‍යාඥයෙකි. මෑත කාලීනව ඇමෙරිකානු හමුදාව සංග්‍රාම කටයුතු වලදී භාවිතා කළ නවීන අවි ආයුධ සියල්ලක්ම මොහුගේ මූලිකත්වයෙන් නිශ්පාදනය කරන ලද ඒවාය.

    ෆෙඩ්රික් තම ෆයිල් කවරය හා ජංගම දුරකතනය රැගෙන විදුලි සෝපානය පැමිණෙන තෙක් රැදී සිටියේය. විදුලි සෝපානයට ගොඩ වී පහළට යන තත්පර කීපයද ඔහු සිටියේ බර කල්පනාවකය, පහත මාලයට විත් එහි දොර ඇරුනු වහාම ෆෙඩ්රික් රථ ගාලට දිව ගොස් තම මෝටර් රථයට ගොඩවිය. "නෝමන්, මවුන්ටන් වීව් යන්න ඕනෙ...." නෝමන් යනු ෆෙඩ්රික්ගේ රියදුරායි, මදක් රතු පැහැති මුහුණක් හා කෙසග සිරුරක් ඇති මොහුට මදක් පැසුනු උඩු රැවුලින් හා රත් පැහැති දෙනෙතින් දරුණු පෙනුමක් ගෙන දුන්නද මොහු නිතර සිනාමුසු මුහුණින් සිටින ඉතාමත් අහිංසක පුද්ගලයෙකි. මෝටර් රථය මවුන්ටන් වීව් යන අතර තුරද ෆෙඩ්රික්ගේ හිතට නිදහසක් නොවීය. ඔහු මත පැටවී ඇති අභියෝගාත්මක කර්තව්‍යය කෙසේ හෝ සාර්ථකව නිමකල යුතුය, ඒ හොදින් හෝ නරකිනි. කෙසේ කලත් මෙය මුළු ලොවටම වසන් කරගෙන කළ යුතුය. මෙම ක්‍රියා දාමයේ කොතැන හෝ අසාර්ථක වුවහොත් ඇමෙරිකාවට රුසියාව ඇතුළු අනෙකුත් ප්‍රභල රටවල් වලින් එල්ල වන චෝදනා වලින් නිදහස් විය නොහැකි මෙන්ම තව තවත් ලෝකය තුල ඇමෙරිකාවට ආර්ථික සම්භාධක පැනවෙනු ඇත. දැනටමත් අනෙකුත් රටවල් වලින් පැනවී ඇති සම්භාධක ඇමෙරිකානු ආර්ථිකයට මරු පහරක් වී ඇත. පැය තුනහමාරක පමණ ගමනකින් පසුව ෆෙඩ්රික්ගේ මෝටර් රථය මවුන්ටන් වීව් වෙත ලගා විය. කලු පැහැති ලිමොසින් වර්ගයේ මෝටර් රථයක් වන මෙය ඇමෙරිකානු පාලනාධිකාරිය විසින් ෆෙඩ්රික්ට ලබා දී ඇති නිල රථයයි.

    වින්ස්ටන්ට්ගේ නිවස අසලින් මෝටර් රථය නැවැත්වු පසු ෆෙඩ්රික් මෝටර් රථයෙන් බැස ෆයිල් කවරයද අතට ගෙන තම ජංගම දුරුකතනයෙන් ඇමතුමක් ලබා ගත්තේය. "වින්ස්ටන්ට් මහතා, මම ඔබේ නිවස අසල ඉන්නෙ..." තත්පර කීපයකින් මැදිවියේ පුද්ගලයෙක් පැමිණ ගේට්ටුව විවෘත කලේය. ඔහු ෆෙඩ්රික් දෙස බලා "වින්ස්ටන්ට් මහතා මුණ ගැහෙන්නද..??" යැයි ඇසීය. "ඔව්, මම ෆෙඩ්රික්.." යැයි පිළිතුරු දුන් ෆෙඩ්රික් මහතා ගේට්ටුවෙන් ඇතුලු විය. බැලූ බැල්මටම අතිවිශාල නිවසක් ලෙස පෙනෙන මෙහි වත්තේ සෑම තැනකම අලංකාර ලෙස මල් වවා ඇත, ගේ ඉදිරිපස වතුර මලකි. ෆෙඩ්රික් නිවස කරා යන අතර තුර සේවකයෙක් මිදුලේ වල් පැල ගලවමින් සිටියේය. ඔහු ෆෙඩ්රික් දෙස බලා සිනාසුනද සිනාසීමට හැකි තරමේ මානසිකත්වයක ෆෙඩ්රික් ඒ වන විට නොසිටියේය. නිවසේ දොරෙන් ඇතුල් වු ෆෙඩ්රික් වට පිට බැලීය කිසිවෙකු පෙනීමට නොමැති නිසා ඔහු ඒ අසල තිබූ අසුනෙහි හිද ගත්තේය. ටික වෙලාවකින් පැමිණි මැදි වියේ පුද්ගලයෙකින් කිරි සහිත චොක්ලට් පානයක් බිස්කට් සමග පිළිගැන්වීය. එය ටී-පෝව මත තැබූ පරිදිම තිබියදී ෆෙඩ්රික් බර කල්පනාවකය. "ෆෙඩ්රික් මහත්තය බර කල්පනාවක වගේ ඇයි මේ, බිස්කට් එක කාලත් නෑ... ඔබට මොකක් හරි ගැටලුවක්ද..." ඒ වින්ස්ටන්ට්ගේ ගැඹුරු කට හඩයි. ඔහු දුටු විට ෆෙඩ්රික් ගැස්සී ගියේය, නමුත් වින්ස්ටන්ට් කිව්වේ කුමක්දැයි ෆෙඩ්රික්ට හරි හැටි වැටහුනේ නැත. "ආ.... වින්ස්ටන්ට් මහතා සුභ සන්ද්‍යාවක්..." යැයි කියමින් ෆෙඩ්රික් අසුනේ හරි බරි ගැසුනේය. "සුභ සන්ද්‍යාවක්...." යැයි කියමින් වින්ස්ටන්ට් මහතා ඔවුන් දෙදෙනාටම ජෝගුවෙන් චොක්ලට් පානය වත්කලේය.

    "ඇයි මේ කවදාවත් නැතුව ඔබ හිතේ අමාරුවකින් වගේ, ඔබ මෙහෙම ඉන්නව මම දැක්කමයි...." වින්ස්ටන්ට් මහතා සිනා මුසු මුහුණින් කීවේය. "හිතේ අමාරුවක් නෑ වින්ස්ටන්ට් මහත්තයා, බර වැඩක් කරන්න තියෙනව... ඇමෙරිකානු පාලනාධිකාරිය මේ වැඩේ ඉවර කරන්න මට දීල තියෙන්නෙ මාස විස්සයි. ඒ කිව්වෙ ලබන අවුරුද්දෙ අවසානය වෙද්දි සියල්ලක්ම අවසාන වෙන්න ඕනෙ. මම ඒ සම්බන්ධව අපේ මූලස්ථාන නිළධාරීන් සියලු දෙනාවම අද දැනුවත් කලා....". "මගෙන් මොනවද ඔබට ඕනෙ ෆෙඩ්රික්.." වින්ස්ටන්ට් මහතා යලිත් තම කටහඩ අවදි කලේය. "මේකයි වින්ස්ටන්ට් මහත්තයා, අපිට මෙතෙන්දි කරන්න තියෙන්නෙ රුසියාවෙ සියලුම පර්යේෂණ දත්ත සොරා ගන්න එක, ප්‍රධාන වශයෙන්ම න්‍යෂ්ඨික තාක්ෂණය. ඒ වගේම ඔවුන්ගෙ කෘත්‍රීම බුද්ධිය සහිත අවි ආයුධ පිළීබදව පර්යේෂණ කරන විද්‍යාගාරය සොයාගන්න ඕනෙ. එහි දත්ත සියල්ලක්ම සොරාගන්න ඕනෙ. මේකට අපි පුළුවන් තරම් ඉහළ තාක්ෂණයක් යොදාගෙන වැඩේ සාර්ථකව නිම කරන්න ඕනෙ. ඔබට අවශ්‍ය සියලුම විද්‍යාගාර පහසුකම් පාලනාධිකාරිය ලබා දෙන්න ලෑස්තියි, ඒ වගේ විශාල මුදලකුත් කොන්ත්‍රාත්තුව හැටියට ගෙවයි. ඔබට කරන්න තියෙන්නෙ තාක්ෂණික අංශයෙ ප්‍රධානත්වය භාරගෙන වැඩ කටයුතු සැලසුම් කරන්න. කලිනුත් මේ වගේ වැඩ වලට සම්බන්ධ වෙලා තියෙන නිසා මේ ගැන මම ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ වෙන එකක් නෑ, හෙට උදේම අපේ මූලස්ථානයට එන්න.. මාත් එක්ක පෙන්ටගනයට යමු...." ෆෙඩ්රික් එක පිම්මට කියාගෙන ගියේය. වින්ස්ටන්ට්ට එය තරමක් අසනකාරී වචන වරුසාවක් විය. මෙවැනි වැඩ වලට තමා පෙරද සම්බන්ධ වී ඇති බැවින් වින්ස්ටන්ට්ද මෙහි බැරෑරුම් කම හොදාකාරව දනී. වින්ස්ටන්ට් බලාගත්වනම බලා සිටියේය. ෆෙඩ්රික් ඉදිරියේ මෙය ප්‍රතික්ෂේප කිරීමට තරම් ආත්මශක්තියක් මේ වෙලාවේ ඔහුට නැත, නමුත් බාර ගැනීමටද නොහැකිය.


මතු සම්බන්ධයි.
______________________________________________________________________________
නිහඩ මෙහෙයුම -
නිහඩ මෙහෙයුම යනු හුදෙක්ම මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතා මාලාවකි. මෙය මුලුමනින්ම මාගේ ස්වයං නිර්මාණයක් වන අතර සියලුම සිදුවීම් හා නම් මනඃකල්පිතය.
ප.ලි.අඩුපාඩු තියේ නම් කියල යන්න ඈ... ඒ නැතත් අදහසක් දක්වනව නම් සතුටුයි ආයිබොවන්, නැතත් හිතේ කහටක් අමනාපයක් නෑ ඕං, කියවල රස වින්දනම් එච්චරයි මට තියෙන සතුට....

Monday, January 9, 2012

ඔබට උරුම වු රිදුනු තැවුනු හද...


මගේ මේතරම් සියුමැලිද කළුගල්... ලිපියට අදහස් දක්වපු  THE THINKER ආදරණීය සහෝදරයගෙන් තමයි මට මේ ලිපිය ලියන්න කියල ඉල්ලීමක් ලැබුනෙ, එම ඉල්ලීම තුලින් මා ලද සතුට ජවය හා ධෛර්යය වෙනුවෙන් මුලින්ම මගේ හෘද්‍යෘංගම ස්තුතිය ඔහුට පලකරන්න ඕනැ, එමෙන්ම එම ගීතයේ විවරණයට අදහස් දැක්වූ මා හිතැති සියලුම පාඨක සහෘදයන්ට මාගේ හෘද්‍යාංගම ස්තුතිය. සදකඩ පහනක ගීතය මම මුලින් අනේක වාරයක් ඇසුවද එහි තේරුම පිළිබදව මටද එතරම් අදහසක් තිබුණෙ නෑ ඕං, පෙර ලිපියේ අදහස් තුල තිබූ ඉල්ලීම නිසා හා ඒ තුලින් ලද ධෛර්යය නිසා මං සෑහෙන කල්පනා කරල මේකට තේරුමක් ගොඩ නැගුව, මේක මම ඉදිරිපත් කරන්නෙ ප්‍රවීණ ගීත විචාරකයෙක් හෝ ප්‍රවීණ සාහිත්‍යධරයෙක් ලෙසට නොව සාමාන්‍ය දැනීමක් ඇති රසිකයෙක් හැටියට බවත් මුලින් කියන්න කැමති, අනෙක මෙය හුදෙක්ම මගේ සිතේ ඇදි චිත්‍රයක් අනුව මා විසින්ම ගොඩ නගා ගත්තක් වන අතර වෙනත් ඕනෑම අයෙකුට මෙය වෙනස් ආකාරවලින් ඉදිරිපත් කරන්න පුළුවන්.

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුනු රසයෙක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී...//

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදූ
ගව්වක් ඉහලක ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසත් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවුනු වැහි බිංදූ
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ...//


සඳකඩ පහනක කැටයම් ඔපලා...

හදවිල ඉපැදුනු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුනු කඳුලක්
සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වු රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...//
________________________
සුගායනය: සුනිල් එදිරිසිංහයන්.
පද රචනය: වොලී නානායක්කාරයන්.
සංගීතය: වික්ටර් රත්නායකයන්.

ඔන්න එහෙනම් මම වැඩේට බහිනව, මෙන්න මේකයි මගේ කතාව.
සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී...
සඳකඩ පහන කියන්නෙ අර්ධ කවාකාර වස්තුවක්නෙ, දේදුන්නත් ඒ වගේ නෙව. දේදුන්න කියන්නෙ පාට පාට දෙයක්, ඒ කියන්නෙ අලංකාර විසිතුරු දෙයක්, මේකට සඳකඩ පහනෙ තියෙන කැටයම් ටිකත් ගෙනල්ල දැම්මොත්. ඒ විසිතුරු බව දෙගුණ තෙගුණ වෙලා අලංකාරය තවත් වැඩි වෙනව. එතකොට මේ කියන්නෙ සදකඩ පහනෙ තියෙන කැටයමුත් එකතු වෙච්ච අලංකාර වර්ණවත් දේදුනු ගැන. රචකය මෙතෙන්දි මේ විශේෂිත වු දේදුනු තමා දකින රූමත් තරුණියන් දැක්වීමට යොදාගන්න ඇති කියලයි මට හිතෙන්නෙ. මම මේ ගීතය දකින විදියට කොතරම් රූමත් තරුණියන් මේ රචකයාගේ නෙත ගැටුනද ඔහු පතන්නේ වෙනත් තරුණියක්, ඔහු ඒ තරුණිය සමග කතාබහක යෙදෙනව.

කැලැතුනු රසයෙක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ...
රසයක් හැදෙන්නෙ විවිධාකාර දේවල් රාශියක් එකතු වෙලා නෙ. ඉතින් මේ රචකයත් තරුණියත් කතාබහ කරද්දි දෙදෙනාගේ අදහස් එකිනෙකාට කියද්දි මේ දෙදෙනාගෙ සිත් තුල විවිධාර සිතුවිලි ඇතිවෙනව. ටික ටික මේ සිතුවිලි එකිනෙක පෑහෙන ගතියක් පෙන්නුම් කරන්න පටන් ගන්නව, ඊට පස්සෙ මේ දෙදෙනාගෙම සිතුවිලි එකම රසයක් බවට පත් වෙනව, රසයක් කිව්වෙ සිතුවිලි කිහිපයකින් සමන්විත තනි විශාල සිතුවිල්ලක් කියල හිතන්නකො. දැන් මේ දෙදෙනාටම අයිති මේ තනි විශාල සිතුවිල්ලෙ බුබුළක් පැන නගිනව. මේ බුබුල දෙදෙනාම විසින් තනන ලද නමුත් හංගා ගෙන හිටපු දෙයක්, හැබැයි බුබුක් කියන දේ ජලය තුලදි උනත් අනිවාර්යෙන්ම උඩට එනවනෙ, ඒ වගේ මේ බුබුලත් හංගන්න බෑ උඩට එනව, හැබැයි මේක දෙන්නටම අයිති. ඒ කිව්වෙ දෙන්නම එකිනෙකාට ආදරේ කරල රහසින්, ඒක දැන් දෙන්නම ප්‍රකාශ කරල. මේ පද පේලිය දිහා මම දකින්නෙ මේ විදියට.

ඊට පස්සෙ මේ දෙන්න ආදරණීය කතාබහක යෙදෙනව, රචකයට සිතනව මේ තරුණිය ස්ථිර වශයෙන්ම තමාට ආදරෙයි, මෙය තමයි තමා මෙතෙක් කල් සෙවූ ආදරය, තමන්ට දැන් එය නියත වශයෙන්ම ලැබුණ කියල. 
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී... මෙන්න මේ පද පේලි දෙක තමා මම ඒ විදියට දැක්කෙ. හැබැයි මේ ආදරණීය කතාබහ ඔස්සේ තරුණිය තමන්ගෙ අතීතය කරා මේ රචකයාව රැගෙන යනව. අතීතයේ දේවල් මේ රචකයට කියන්න කියන්න මොහුගේ හිතේ උපන් ආදරය ටිකෙන් ටික ටිකෙන් ටික මැලවෙන්න පටන් ගන්නව. මම මේ විදියට දැක්කෙ පහත පද පේලි දෙක.
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී...  මෙතෙන්දි ඈ ගෙන යනවා කියන්නෙ රචකයා ඇයව ගෙනයනව නෙමෙයි ඇය රචකයාව ඇගේ අතීත මතකයන් ඔස්සේ ගෙන යනව කියන එකයි, සියුමැලි කැකුල ලෙස උපමාවක් යොදා හදුන්වා ඇත්තේ රචකයාගේ හිතේ තරුණිය කෙරේ උපන් ආදරයයි, මෙය ඔහුගේ ප්‍රථම පෙම විය හැක බව ගීතය අධ්‍යයනය කිරීමේදී මට නිරායාසයෙන්ම හැ‍.ඟෙනව.

දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බිංදූ.. ඒ කියන්නෙ රචකයාගේ  හිත තුළ තරුණිය කෙරේ උපන් ආදරය නම් වූ මලේ දහසක් වූ පෙති මත හැම පෙත්තක් පෙත්තක් ගානෙම තරුණියත් තම ආදරය ප්‍රකාශ කරල, රචකයගෙ හිතෙනුත් දැන් තරුණිය කෙරේ ආදරය වෑහෙනව, ඒ ආදරයත් තරුණිය යහමින් විදින බවක් රචකයට දැනෙනව, ඒ අතරතුර තමයි මේ තරුණිය තම අතීත ආවර්ජනය කරන්නෙ. 
ගව්වක් ඉහලක ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ...
මෙහිදී තරුණිය රචකයාගේ ආදරයට තමාගේද අකමැත්තක් නොමැති බව අඟවනව, රචකයාගේ ආදරය තමාට මහාර්ඝ වස්තුවක් බවට තරුණිය කල ප්‍රකාශය දැක්වීම සදහා ගව්වක් ඉහලක ගොනු කොට රදවා... යෙදුම යොදන්නට ඇති බවයි මගේ හැගීම, ඉතින් රචකය හිතනව තමාට දැන් තරුණිය හිමි, ඇය තමාට ආදරෙයි කියල. රචකයාගේ හිත සතුටින් පිරිල මුවට සිනාවක් නැගෙනව, ඒක තමයි පොපියන දෙතොලක් එහි කැන්දූ.. කියන  එකෙන් කියන්නෙ. මම ඒක දැක්කෙ ඒ විදියට.

හැබැයි මේ තරුණිය, රචකයාගේ ආදරය තමාට අවශ්‍ය බවත් එය තමාට මහාර්ඝ වස්තුවක් බවත් ප්‍රකාශ කල සැනින් ඒ හා සමගම තවත් දෙයක් ප්‍රකාශ කරනව. ඒ ප්‍රකාශයත් සමගම රචකයාගේ මුහුණ අදුරුවී දෙනෙතට කදුළු උනන්න පටන් ගන්නව, පහත පද පේලි දෙක තමා මම ඒ විදියට දැක්කෙ.
අහසත් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවුනු වැහි බිංදූ...
මෙහිදී තරුණිය තම අතීත ආවර්ජනයක් කර කරනෙ ඉන්නෙ, ඉතින් මේ අතීත කතාව ඇතුලෙ තරුණිය කියනව මට ඔබේ ආදරය ලබන්න කැමතියි හැබැයි ඔබේ ඉල්ලීමට මට එකග වෙන්න බෑ, මොකද මීට පෙර ඉදන් මට ආදරේ කරන තව කෙනෙක් ඉන්නව. පහත පද පේලි දෙක තමා මම ඒ විදියට නිර්වචනය කලේ.
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ... මෙතෙන්දි ඈ ගෙන යද්දී නටබුන් අතරෙක කියන්නෙ තරුණිය විසින් රචකයාව අතීතය කරා රැගෙන යද්දී කියන එකයි, තවෙකෙක් ඈ වෙත හද රැන්දූ...  මීට පෙර ඉදන් ඈට ආදරේ කරපු තව එකෙක් එතන.

හදවිල ඉපැදුනු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත්සමුදුරකට මුහුව ගියා...
දැන් මේ රචකයාගේ හිතේ පිපුනු ආදර මල අර තරුණිය විසින්ම ගලවල විසි කරල, රචකයාට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනව,රචකයාගෙ දෙනෙතට කදුළු නැගෙනව. 
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත්සමුදුරකට මුහුව ගියා...
කියන යෙදුම යොදාගෙන ඇත්තේ රචකයාට දැනෙන දුක කෙතරම්ද යන්න දැක්වීමටයි. ඒක තව විදියකට කියන්න පුළුවන් කියල මට හිතෙනව. රචකයා තමාගේ දුක ගීයකට පෙරලුවාය කියන බවකුත් එයින් මට හැඟෙනව, ඒ මොකෝ එතන කියන්නෙ සත්සමුදුරකට මුහුව ගියා... කියල නෙව. ඒක සප්තපස්වරය කියලත් ගන්න පුළුවන්දෝ කියල මට හැඟෙනව.

ඔබට උරුවු රිදුනු තුවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
ඊට පස්සෙ රචකය කියනව මේ සිත උරුම නුඹටයි, ඒ හිත දැන් රිදිල තැවිල ඉන්නෙ නුඹ නිසා, මට වෙන කෙනෙක් ගැන සිතන්නට අමාරුයි, හරියට මගේ සිත එක් ටැමක තියෙනව වගේ. නුඹ කවදක හරි මා වෙත එන තෙක් මගෙ හිත එක්ටැම් ගෙයි කවුළුවෙන් බලා සිටිනව. ඔන්න ඕක තමා මේ ගීයෙන් මම ගොඩ නගපු කතාව.

ප.ලි. මෙකෙ ලිව්වෙ ඉතින් මට හිතෙන දේ හොදේ, මම මේක ලියන්නෙ ගීත රසිකයෙක් හැටියට මිස සාහිත්‍ය විචාරකයෙක් හෝ ගීත විචාරකයෙක් හැටියට නොවෙන බව නැවතත් කියන්න ඕනෙ. මේ පැත්තට ආව එකේ මොනව හරි පොඩ්ඩක් ලියල යන්නත් අමතක කරන්න එපා හොදේ, නොලීව කියල හිතේ කිසිම කහටක් අමනාපයක් නෑ ඕං... 
*සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතය අහනව නම් මෙතැනින් : http://www.youtube.com/watch?v=ygbmy-xTRA0

Sunday, January 8, 2012

පට්ට කෑල්ල හා ගොඩේ කෙල්ල...

   මම කලින් දැම්මනෙව මේ තරම් සියුමැලිද කළුගල්.. කියල ලිපියක්. ඕකට මට ඕනෙ වුනා සාමාන්‍යයෙන් චාම් රූමත් තරුණියකගෙ පිංතූරයක්. සාමාන්‍යයෙන් මට නම් කොහේ ඉන්න කෙල්ලොන්ටත් වඩා ලංකාවෙ කෙල්ලො ලස්සනයි, ඒ වගේම කොහේටත් වඩා චාම් නෙව. මම ඉතින් sri lankan girls කියල ඉන්ටර්නෙට් එකේ සර්ච් කලා, මේ චවන දෙක තුනේ ඉතින් කැත අදහසක් නෑ නෙව, ඒත් මුල් පිංතූර 12 අතර පවා බලන්න බැරි පට්ටම චාටර් පිංතූර 4 ක්.


   පොඩි දරුවෙක් මේ වචනෙ සර්ච් කරා නම් එහෙම...!!! ආපු පිංතූර දැක්කම මට පට්ටම කලකිරීමක් ඇති වුනා. වෙන රටක ඒව නම් කොරන්න දෙයක් නෑ ඒ මොකෝ ඒ රටවල විවිධ සංස්කෘතික හේතූන් නිසා, ඒත් දෙයියනේ මේක ශ්‍රී ලංකාවනෙ. මෙන්න මේ සිද්ධිය නිසාමයි මේ ලිපිය ලියන්න කල්පනා කොරේ. හැබෑටම පට්ට කෑල්ලක් හා ගොඩේ කෙල්ලෙක් අතර වෙනස මොකක්ද. සාමාන්‍යයෙන් පට්ට කෑල්ලක් කියන්නෙ කොට සායක් ඇදපු, ඒකත් අඟල් පහ හයක් පලපු, උඩත් අමාරුවෙන් වහගත්ත, කොණ්ඩෙ ස්ට්‍රේට් කරපු, මූණ පුරා පැලැස්තරයක් දාපු, තොල් දෙක ගිනියමට පේන්න පාට කරපු.... ඔන්න ඔය වගේ කෙනෙකුටනෙ. එතකොට සාමාන්‍යෙයන් ගොඩේ කෙල්ලෙක් කියන්නෙ, බෝරිච්චි අත් දාල දණහිස වැහෙන්න චීත්ත ගවුම ඇදපු, කොණ්ඩෙ තෙල් ගාල ගොතපු, පැලැස්තර නැති සාමාන්‍ය මූණක් තියෙන... ඔන්න ඔය වගේ කෙනෙකුටනෙ. පට්ට කෑල්ලකට පට්ට කෑල්ල කියන්නෙ ඇයි, දැක්ක ගමන් ඇහේ පොට යන නිසාද. එතකොට ගොඩේ කෙල්ලෙක්ට ගොඩේ කෙල්ල කියන්නෙ ඇයි, දැක්කම ඇහිපිය නොගහ ඕනෙ තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් නිසාද.

   සාමාන්‍යයෙන් කෙල්ලෙක් උපතින්ම පට්ට කෑල්ලක් වෙන්නෙ නෑනෙ. ටිකක් මෝරල සමාජයට එනකොට සමාජයට කලින් කෙල්ල වෙනස් වෙනව, ගෙදර ඉන්න අහිංසක දෝනි පට්ට කෑල්ලක් වෙනව. මේක සමහරු හොදයි කියල හිතුවත් පට්ට කෑල්ල කියන සංකල්පය තුල කාන්තාව කියන චරිතය විශාල පරිහානියකට ලක්වන බවයි මගේ නම් හැගීම. මේවට සෘජුවම වග කියන්න ඕනෙ දෝනිලගෙ අම්මල. ඒ මොකෝ තමන්ගෙ දෝනිගෙ වෙනස් කම් සමාජයට කලින් දකින්නෙ අම්මල නෙව. අම්මලට පුළුවන් වෙන්න ඕනෙ හොද නැති දේට, ගැලපෙන්නැති දේට විරුද්ධ වෙන්න, අම්මල දෙයක් අනුමත කරපු ගමන් සමාජය ඊට වඩා උඩින් ඒක අනුමත කරනව, විශේෂයෙන්ම දෝනිලාගේ පරිහානියට හේතුවෙන දේවල්. සමහර වෙලාවට මම දැකපු දෙයක් තමයි අම්මල දූල පාරෙ යන කොට දුව පට්ටම කෑල්ල වගේ අම්ම එක්ක යනව, අම්ම පට්ට ඩබල් වෙන්න යනව, එතකොට දුවට වඩා අම්ම පට්ට කෑල්ල වෙලා. එහෙම තත්වයක ඉන්න අම්මල නම් දෝනිලගෙ විච්චූරන වලට විරුද්ධව කට අරිනව බොරු. හැබැයි තවත් අම්මල ජාතියක් ඉන්නව මෙන්න මෙහෙම, එයාලට ඕනෙ ටී.වී එකේ දකින ඈයො වගේ තමන්ගෙ දූලට අන්දවන්න, අරමුණ මොකක්ද කියන එක නම් මට පැහැදිලි නෑ, හැබැයි කතාව ඇත්ත. තවත් සමහර ඈයො ඉන්නව දූගෙ හිත නොරිදෙන්න අන්දවනව, දූලත් ඉතින් ඒ වෙලාවට අම්මට පණ වගේ, හැබැයි කරන තරමක් කරන්නෙ හොර වැඩ.

   කොහොමින් කොහොමින් හරි අහිංසක දෝනි පට්ට කෑල්ල වෙලා සමාජයට ගියපු ගමන් හැම තැනින්ම ඉල්ලුම. එහෙන් කොල්ලො ආදරේ ඉල්ල ඉල්ල පොරකනව, නිකමට හරි ටී.වී. වැඩසටහන් කරන කෙනෙක් දැක්කොත් ඇඩ් එකකට එන්න කියනව, ඊට පස්සෙ සිංදුවල විශුවල්, ටෙලි නාට්‍ය...... මේ හැම එකක් ඇතුලෙම අයුතු යෝජනා. දෝනිම දන්නෑ දෝනිට වෙන්නෙ මොකද කියල, දෝනිලයි අම්මලයි හිතන් ඉන්නෙ දෝනි පට්ට කෑල්ල උනාම මොළෙත් පට්ට යන්නම දියුණු වෙලා බුද්ධිය වැඩි වෙලා, සමාජය තේරුම් අරන් ඇති කියල. අන්තිමට සමාජය තමන් කවුද කියල හංවඩු ගහද්දි තමා දැනගන්නෙ තමන්ට වුනු සන්තෑසිය, එතකොට නම් ඉතින් අම්මල දෝනිල රත්වෙලා වැඩක් නෑ..., බිත්තර තම්බන්නයෑ...... ගමේ ඉන්න අහිංසක කෙල්ලො නගරෙට ආවමත් මෙන්න මේ සන්තෑසියට මුහුණ පානව, දැන් දැන් ගම් වල ඉන්න කෙල්ලොත් පට්ට කෑලි වෙන්න පටන් අරන්.

   සාමාන්‍යයෙන් ගොඩේ කෙල්ලෙක්ය කියල හදුන්වන අහිංසක දෝනි කෙනෙක්ගෙ ජීවිතේ ගෙවිල යන්නෙ කොහොමද, කෙටියෙන් කිව්වොත් පොඩි කාලෙ අම්මත් එක්කම පස්සෙන්මයි, ලොකු වෙන කොට ඉස්කෝලෙ යනව, ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනව, අම්මලත් එක්ක නෑදෑයොත් එක්ක ගෙදරට සුරැකිව මලක් වගේ පරිස්සමට තරුණ කාලෙ කල්ගෙවනව, හැමෝගෙම ආශිර්වාද මැද්දෙ ගැලපෙන දීගෙකට යනව, ඊට පස්සෙ යුග දිවිය. එතකොට සාමාන්‍යයෙන් දින චර්යාව කෙටියෙන් කිව්වොත්,  උදේට නැගිටිනව, මිදුල අතුගානව, ගේ අතුගානව, බුදුන් වදින කෙනෙක් නම් බුදුන් වදිනව, ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ වැඩකටයුතු කරනව, ගෙදර ඉන්න කෙනෙක් නම් අම්ම එක්ක ගෙදර වැඩක් කරනව, එක්කො මොකක් හරි මහනව. රස්සාවක් කරන කෙනෙක් නම් ඒකට යනවා.... මේ විදියටනෙ. එතකොට පට්ට කෑල්ල... උදේම ෆේෂල් එක දානව, ඒක දාගෙන පැයක් විතර ඉන්නව, ඊට පස්සෙ කෝල් දෙක තුනක් එනව, ඒකෙ එල්ලිලා පැය ගානක් ඉන්නව, කොහේ හරි යන කෙනෙක් නම් එහේ යනව, යන ගමන් සුපිරි කඩේකින් ෂොටීට්ස් අරන් උදේට කනව, සැලූන් යනව. ගෙදර ඉන්න කෙනෙක් නම් උදේට මොනව හරි කාල කාමරේට රිංගනව, නැත්තම් ටී.වී බලනව. ටොප් චාර්ට්ස් අහනව, පොඩ් නින්දක් දානව, දවල්ට කනව... ඔහොමනෙ. 


   කොස්සකින් හරියට කාමරයක් අතුගාගන්න බැරි පට්ට කෑලි කොයිතරම් ඉන්නව ඇත්ද, පොල් කෑල්ලක් ගාගන්න බැරි පට්ට කෑලි කොයිතරම් ඉන්නව ඇත්ද. ඒත් ගොඩේ කෙල්ලෙක්ට ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්... බැරි මොනවද, සත්‍ය වශයෙන්ම ගොඩේ කෙල්ලෙක් කියන නම ඒ ඇත්තියන්ට සාධාරණයි කියලයි මට හිතෙන්නෙ. එතකොට පට්ට කෑලි නිරායාසයෙන්ම මඩේ කෙල්ලන් වෙනව නෙව. එතකොට ගොඩේ කෙල්ලද පට්ට කෑල්ලද තමන්ගෙ ජීවිතේ අර්ථවත්ව ගත කරන්නෙ, අර්ථවත් කියන එක කොහොම උනත් විනාස නොවී. ඒ නිසා තමන් පට්ට කෑල්ලක් වීමට උත්සහ දැරීමෙන් සිද්ධ වෙන්නෙ තමන්ගෙ විනාශයක් පමණක් බව හැම දෝනි කෙනෙක්ම හිතට ගන්න ඕනෙ. ගොඩේ කෙල්ලො කියල එකක් නෑ, ඕව සමාජය විසින් හදපු පුස් කතා. හැම දෝනි කෙනෙක්ම රටට වටින දෝනි කෙනෙක් වෙන්න උත්සාහ කරන්න, ඉගෙනීමෙන් පමණක් නෙමෙයි හැදියාවෙනුත් නොම්මර එක වෙන්න ඕනෙ. ලැජ්ජ බය කියන එක තේරුම් ගන්න, අම්මල ඕව කියල දෙන්නෙ නැත්තම් කරදර කරල අහන්න අම්මෙ මොකක්ද ලැජ්ජ බය කියල. දෝනිලත් තේරුම් ගන්න ඕනෙ තමන්ගෙ සීමාව මොකක්ද කියල, කෙසේ වෙතත් අම්මල මේ වගකීම කර නොඇර භාරගන්න ඕනෙ, නැත්තම් අපේ රට සදාකාලිකවම පට්ට කෑලි වලින් පිරුණු රටක් බවට පත් වේවි.


   ප.ලි. මේ ලිපිය ටිකක් සැර වැඩිද මන්ද, තිත්ත උනත් ඇත්තනෙ අප්පා. මේව හංගල තිව්වම වෙන්නෙ තව තවත් සමාජය අගාධෙට යන එකනෙ, ඒකයි පුළුවන් තරම් ආවේගය පාලනය කරගෙන හරි ලිපිය ලිව්වෙ, මෙව්ව ලියද්දි ඉතින් හිතට එන ආවේගෙත් එක්ක ලිපිය සැර වැඩි වෙන වලක්වන්නත් බෑ නෙව. කොහොමින් කොහොමින් හරි මට හැකි පමණ උපරිමයෙන් ලිපිය සමබර කරන්න උත්සාහ කලා, බොහෝමත්ම ස්තුතියි එහෙනම් කියෙව්වට.

Saturday, January 7, 2012

මේ තරම් සියුමැලිද කළුගල්...


මේ ලියන්න යන්නෙ නම් වල් පල් ටිකක් නම් නෙමෙයි ඕන්, ටිකක් එහෙමත් තමයි. ඒත් එහෙම්මමත් නෑ. කමක් නෑ කොයි එක උනත් වල් පල් නැත්තම් රහකුත් නෑ නෙව. මම මේ මෑතකදි ඉන්න ගමන් පට්ටම සිංදුවක් ඇහුව, ඒක මම යූටියුබ් එකෙන් අහල මූණු පොතටත් ෂෙයාර් කලා. ඒක කොච්චර ලස්සන සිංදුවක් උනත් ලයික් 2යි වැටුනෙ, එකක් මගෙන්. අනෙක මම දන්න කියන අක්ක කෙනෙක්ගෙන්. ලයික් 2කට සීමා වෙන්න හේතුව තමයි ඔය සිංදුව පට්ටම එකක් වීම, ඒ කිව්වෙ සාහිත්‍යයය රසස්වාදය උපරිමයි, සංගීතයත් හරිම සෞම්‍යයයි. කන කකියන්නැතුව අහන්න පුළුවන්. මට ඉතින් ඇස් දිගුවෙන ලබැඳියන්ට සිංදු කියන අනංගයන්ගේ මෙලෝ විචාරයක් නැති සිංදු අහල පුරුද්දක් නෑ නෙව. ඉතින් ඔය සිංදුව මූණු පොතේ හිටපු අනිත් එකෙක්ටවත් අල්ලල ගියේ නෑ, උන් හොයන්නෙම මං හිනැහෙන විදිය ගැන කියන සිංදු. හරි ඒක එහෙමයි කියමු. ඔන්න ඊට පස්සෙ දවසෙ අර සිංදුවට ලයික් එක දාපු අක්ක ඔන්ලයින් ආව. මට ඉතින් හිතුන මම දාපු සිංදුව ගැන එයාගෙන් අහල බලන්න, එයත් ඒකට හොඳ විචාරයක් දුන්න. ඊට පස්සෙ ඉතින් මට ෆුල් සැටිස්, වෙන මොකක් වත් නිසා නෙමෙයි ඒ වගේ සිංදුවලටත් කැමති තරුණ උදවිය ඉන්නව නෙවද කියල. ඊට පස්සෙ මෙයා මගෙන් අහනව malli oya ahala thiyenawada me tharam siyumelida kalugal kiyala sinduwak කියල. මම ඉතින් ඕක අහලම නෑ, කාගෙද කියල ඇහුවම එයා කිව්ව සුනිල් එදිරිසිංහයන්ගෙ කියල. මම ක්ෂණිකව යූටියුබ් එක පීරල සිංදුව හොයා ගත්ත, අහල බැලුවම පට්ටම සිංදුව,

මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා..//

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරි මදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා...//

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...//

මේ තරම් සියුමැලිද කළුගල්....
________________________
සුගායනය : සුනිල් එදිරිසිංහයන්.
සංගීතය : දර්ශන රුවන් දිසානායක.
පද රචනය : රජීව් වසන්ත වෙල්ගම.

ඉතින් ඒ අක්කම මගෙන් ඇහුව මේකෙ තේරුම දන්නවද කියල, මමත් ටිකක් කල්පනා කරල එයාගෙන් ඇහුවම එයා දන්නෙත් නෑ. තව යාලුවො කීප දෙනෙක්ගෙන් ඇහුවම උන් කිව්වෙම මේ කියන්නෙ අවුකන බුදු පිළිම වහන්සේ ගැන කියල. මට ඒක එච්චර ඇල්ලුවෙ නෑ. මම කළේ ටිකක් කල්පනා කර කර මේකට තේරුමක් ලිව්ව. මම හිතන විදියට මේකෙ සිද්දිය මේකයි. මේ රචකයාට මුණ ගැහෙනව බොහොම සියුමැලි, ඔහුගෙ හිතට ගැලපෙන තරුණියක්. මොහුගෙ හිතෙත් ඉතින් ඇය ගැන ආදර බර හැගීමක් ඇති වෙනව. මොහු කරන්නෙ හොද වෙලාව ආපු ගමන් තමන්ගෙ ආදරය ප්‍රකාශ කරනව. කොච්චර ලං වෙන්න හැදුවත් ඇය කැමතිම නෑ, ඇගේ හිත මොහුට නැමෙන්නෙම නෑ. මැගේ පෙනුම ඉතා සියුමැලි බව ඔහුට මුලදි පෙනුනත් ඇගේ දැඩි මතය නිසා පසුව ටික ටික මොහුට ඇගේ හිත කළු ගලක් වගේ පේන්න ගත්ත, සියුමැලි තරුණියක් තුල මේතරම් දැඩි මත තියෙනවද යන්න මොහුට ඉතා සංකීර්ණ ගැටලුවක් වුනා.  
මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නට වත් බැරි නිසා... පද පේළියෙන් කියන්නෙ ඒක කියලයි මට හිතෙන්නෙ.

දැන් ඉතින් ඔහුට පේන්නෙ මේ තරුණිය කළුගලක් වගේ නෙව, එහෙම උනා කියල එක සැනින් ආදරේ අඩු වෙන්නෙත් නෑ නෙව. දැන් ඉතින් මොහුට ඕනෙ කළුගල උනත් කමක් නෑ මෙල්ල කරල ගන්න. අවුකන බුදු පිළිම වහන්සේ කියන්නෙ අපේ රටේ තියෙන අති විශිෂ්ඨ ශෛලමය නිර්මාණයක් නෙව. දැන් ඉතින් මොහු යනව ඒක හදපු ශිල්පියාව හොයා ගෙන. යන කොට ඒ අති සම්භාව්‍ය ශිල්පිය කලා වැව ලග පිහිටි ඔහුගේ කුඩා නිවසේ මැටි පිලේ පැදුරක් එලාගෙන වාඩි වී සිටිනව, ඔහු නිහඩව තම අත පය පිරිමදිමින්, කලා වැවේ රළ බිදෙන දෙස බලමින් නිස්කලංකව සිටින අයුරු රචකයා මෙහෙම කියනව.
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා..//

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරි මදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා...//

ඔන්න දැන් රචකය කිට්ටු වෙලා හෙමින් සැරේ තමන්ගෙ ගැටළුව ඉදිරිපත් කරනව, 
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා...
රචකය අහන්නෙ නුඹ අර ඉසුරුමුණියෙ නිර්මාණය කරපු නුඹේ ඒ පෙම්බරිය කෝ, කියල. එතකොට අර මහාර්ඝ ශිල්පියා නිහතමානී බව පිරුනු හිනාවකින් මුව සරසාගෙන කියනව, මම තවම තනිකඩයි.
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...//
ඉතින් ඔහු මෙහෙම පිළිතුරු දෙනකොට රචකයාට මොනව හිතෙන්න ඇත්ද. කළුගල් මෙල්ල කරල සියුම්ව අති විශිෂ්ඨ නිර්මාණ කරපු ඒ මහාර්ඝ ශිල්පියාටත් තවම තරුණියකගේ හිත මෙල්ල කර ගත නොහැකි වූවා නම්, රචකයා ගැන කවර කතාද.

මේ ගීතයේ පද පේලිය තුල රචකයා තම කතාව ඉදිරිපත් කරන අයුරු ඉතා විශිෂ්ඨ බවයි මගේ හැගීම. සියුමැලි තරුණියකගේ හිතේ ඇති දැඩි බව, රළු බව පෙන්වීම සදහා ඔහු විසින්ම ගොඩ නගන ලද මෙම කතාව සාහිත්‍යමය වශයෙන් ඉතා ඉහල මට්ටමක තියෙන බව හොද ගීත රසිකයෙක් විදියට මට හිතෙනව. නූතන පරපුරේ ගීත රචකයන්ටත් මෙවැනිම සාහිත්‍යමය ගීත රචනා කිරීමට හැකි නම් තව බොහෝ කලක් ඉතා විශිෂ්ඨ නිර්මාණ රස විදීමට හැකිවේවි. එහෙම නැති උනොත් තව අවුරුදු 5ක් යන කොට සිංහල ගීතයට රම්පෙට පොරිම හැලෙයි.

ප.ලි. මෙකෙ ලිව්වෙ ඉතින් මට හිතෙන දේ හොදේ, මම මේක ලියන්නෙ ගීත රසිකයෙක් හැටියට මිස සාහිත්‍ය විචාරකයෙක් හැටියට නොවෙන බවත් කියන්න ඕනෙ. මේ පැත්තට ආව එකේ මොනව හරි පොඩ්ඩක් ලියල යන්නත් අමතක කරන්න එපා හොදේ, නොලීව කියල හිතේ කිසිම කහටක් අමනාපයක් නෑ ඕං...
______________________________________________________________________
මේ තරම් සියුමැලිද කළුගල් සිංදුව අහන්න ඕනෙ නම් මෙතැනින් : http://www.youtube.com/watch?v=xg7v1AiA7-4

මූණු යවන්න ගිහිල්ල වෙච්ච දේ...




මේ කියන්න යන්නෙ මේ මෑතකදි මට මූණු පොතේදි වෙච්ච පට්ටම මෙව්ව එකක්. එදත් පුරුදු විදියටම මම වෙන වැඩක් කරන ගමන් මූණු පොතෙත් ලොග් වෙලා හිටිය. මූණු පොතට ලොග් උනාට මොකද ඒ ගැන හාන්කවිසියක් වත් තිබුනෙ නෑ, වැඩේට බැහැලම හිටියෙ. ඒ අස්සෙ හිටපු ගමන් ටික් ගෑව, “ඒ මොකාද යකෝ ඒ, මොකා උනත් දැන් නම් මාර ඇණයක් වෙයි මූ...” කිය කිය මූණු පොතේ චැට් එක බලද්දි කවදාවත් චැට් නොකරපු එකෙක්, නම එහෙම බලද්දි ස්ත්‍රී රත්නයක් බවත් තෙරුනා. “මේ මොකද යකෝ මේ..., මට කවද්ද කෙල්ලෙක් hi.. කිව්වෙ...” එහෙම කල්පනා කරන ගමන් පොඩ්ඩක් රිංගුව ඒකිගෙ ප්‍රොෆයිල් එක පැත්තට. විස්තර වල හැටියට නම් කොළඹ අවට වගෙයි, දන්න කෙනෙකුත් නෙමෙයි, ෆොටෝ එකක් වත් දාල නෑ. ප්‍රොෆයිල් පිංතූරෙත් මලක්. කමක් නෑ කියල මමත් hi.. :) පාරක් දැම්ම.

   අනිත් පැත්තට මේකි අහපි "ane kohomada oya muna ewweeee..." කියල. මමත් ඉතින් ඕනෙ එකෙකුට ඕනෙ දෙයක් කියල දෙන්න ඕනෙ වෙලාවක රෙඩි. මම ඉතින් දන්න මූණූ ඔක්කොම යවල පොඩි වැඩ පාරක් දාල පස්සෙ ටික ටික කියල දුන්න. එදයින් පස්සෙ මම මූණූ පොතට ලොග් වෙනව විතරයි අනිත් පැත්තට hi... :) :D :P :( :* :) :/ B) <3 :v කියල වැඩ කෝටියයි. ඊට පස්සෙ මම මොකුත් නොයැවුවොත් ලෙඩ කෝටියයි, oya neddaa... :( busyda... tharahada... මාරම ඇණයක් උනා, මෙහෙම නෙමෙයි බොක්කෙන්ම එවන්නෙ රිප්ලයි. මම ඉතින් වැඩිය ගත්තෙ නෑ, ෂේප් එකේ රිප්ලයි කරල හිටිය. හැබැයි මට දැන් සැකයි මූ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල, ඒ මොකෝ මාව මොකෙක් හරි අන්දල ආතල් එකක් ගන්න ට්‍රයි කරනවද දන්නෙ නෑනෙ. මම දැන් මාර පරිස්සමෙන් රිපලයි කරනව, මම කියන්නෙම අව කැපෙන වචන, ඇයි ඉතින් මූ කොල්ලෙක්ද දන්නෙ නෑනෙ, ඒත් මේකි බොක්කට වදින්නම ටෝක දෙනව.

   ඔන්න එක දවසක් මේකි වෙනද වගේම ඔන් ලයින් ඇවිත් හාහාපුරා කියල hi... :D :) :v :* <3 :D :) වැඩ කෑලි ටික දැම්ම. මමත් ඉතින් ඇණයක් වෙන්න කලින් hi.. :) කියල දාල සද්ද නැතුව හිටිය. එතකොට මේකි, "mama mechchara wela skype hitiye ane, oya innawada balanna me peththata awe. skype giyata kata kathakarannada. oya monawda karanne...." ස්කයිප් කතාව මට එච්චර ඇල්ලුවෙ නෑ, මට ඉවෙන් වගේ තේරුණා දැන් මේකි මාව ස්කයිප් එකට අදින්න යන්නෙ කියල. මමත් ඉතින් ෂේප් වෙන්න ඕනෙ නිසා "mamath me podi wedak karana gaman" කියල හිටිය, ඊට පස්සෙ සද්ද නෑ. පස්සෙ පස්සෙ ටිකක් ඇණයක් උනත් මම කන්න ගිය නිසා එදා කතාව එතනින් ඉවර උනා. එදා නිදාගෙන පහු වෙනිද උදේම මැෂින් එක දාගත්ත, මෙන්න බොලේ ස්කයිප් එකට රික්වෙස්ට් දෙකක්, දෙකම කාන්තා පාර්ශවයෙන්. “යකඩෝ මේ මොකෝ මේ වෙන්නෙ, කවදාවත් නැතුව කෙල්ලොන්ගෙන් රික්වෙස්ට්...?, ඇයි හත්ඉලව්වෙ මෙච්චර කල් මම ඔන්ලයින් හිටිය එකෙක් රික්වෙස්ට් කලාද..?? ” මේක එච්චර හිතන්න ඕනෙ ප්‍රශ්නයක් නොවුනත් පහුගියදා ස්කයිප් කතාවත් එකත් එක්ක මට ඕක හිතට ආව.

   මම ක්ෂණිකව ගියේ මූණු පොතට, ගිහින් බැලුව අරකිගෙ නම. ඒකෙ තිබුනෙ %^&%$$#^^(*&  කියල. ඒත් ස්කයිප් රික්වෙස්ට් දෙකේම එහෙම නම් නෑ. මටත් මනස් ගාත, මුන් දෙන්න ඉස්කෝලෙ යන කාලෙ දන්න අදුරන එවුන්ද දන්නෙත් නෑ... කියල හිතල ඒ දෙක ඇක්සෙප්ට් කලා. මම දැන් අර වැඩේ අත් ඇරල දාල පී.එච්.පී. කෝඩින් එකක් අස්සෙ රිංගල ජයටම වැඩ. ඔය අස්සෙ ටික්... ගෑවා. මම නෙමෙයි පැත්ත පලාතට ගියේ, ඇයි අප්ප නස්ත වෙන්න වැඩ. ඊට පස්සෙ ටික්.. ටික්.. ටික්.. කනක් ඇහිල්ලෙ ඉන්න නෑ. අයියෝ මාර ඇණයක් උනා.. මම මටම කිය කිය මූණු පොතට රිංගුව. බලද්දි  hi... :D monawada oya karanne, wedakda..?? :) :).......... ei katha neththe ayyata den mawa amathakada... :( :'(  කියල ලෙඩ කෝටියයි. මට දැන් හිතෙන්නෙම මූ කොල්ලෙක් කියල, කෙල්ලෙක් එහෙම ඇහුවට කමක් නෑ තමයි, ඒකෙ අවුලක් නෑ, ඒත් අපේ එවුන් කරන වැඩත් එක්ක මට හිතෙන්නෙම මූ කොල්ලෙක් කියල, ඒක මගේ චින්තනයේ අවුලක්ද දන්නෑ, ඒත් මට එහෙම හිතෙනව දැන්.

   මමත් පොඩි වචන කෑලි දෙකක් දැම්ම ෂේප් වෙන්න හිතාගෙන. එතකොට මේකා කියනව
 "ane ayya me fb eka epa wenawa, mara slow... oyata puluwannam skype ennako. mama oyata reqest kala, eka accept karanna..." මට දැන් ෆුල් අවුල්, මූ නම් කොල්ලෙක්මයි. එහෙම හිතුනට මම කතාවෙ වෙනසක් පෙන්නුවෙ නෑ, අතටම අල්ලගෙන හොදට කන පිරෙන්න කියනව කියල හිතාගෙන මමත් රිප්ලයි කලා
 ko meke oyage nama nene. එතකොට මේකා කියාපි ne meka thama mage eththa nama, skype eke dala thiyena namata mama asai, ekai mama eka pawichchi kale. මට දැන් හොද කුණු හරුප මතක් වෙනව, ඇයි යකෝ ආස උනා කියල නම් 100ක් විතර පාවිච්චි කරන රටක් තියෙනවද. දැන් නම් මට 80%ක් ස්ථීරයි මූ නම් කොල්ලෙක්ම තමා, මාව අන්දල රජ ආතල් එකක් ගන්න යන්නෙ කියල. අදුරන එකෙක් උනොත් පට්ටම චාටර් එක, අදුරන එකෙක් ඇරෙන්න පිට එවුන් ඔහොම ගැට දාන්නෙත් නෑ නෙව. ඒ පාර මම පොඩ්ඩක් කතාව ඇද ඇද ඉදල ගියා. පහුවෙනිද නම් මම මූණු පොත පැත්ත පලාතෙ ගියේ නෑ, වෙනද වගේම මගේ වැඩ. ඔහොම ඉන්න ගමන් මම කල්පනා කලේ අරූට මම ගහන ගැටේ මොකක්ද කියල, ඇයි ඉතින් චාටර් වෙන්නත් බෑනෙ.

   ඔහොම ඉන්න ගමන් බ්ලක්.. බ්ලක්.. අම්මටසිරි, මල හත්ඉලව්වයි, අරූ ස්කයිප් එකෙන් ඇවිත්. hi... :) :D :v :* <3 :D ඒකෙත් වැඩ කෝටියයි. මම දැන් ෂේප් එකේ රිප්ලයි, මූ මට බටර් පාර ගානව හෝ ගාල, මම කියන්නෙම අවකැපෙන කතා. ඊට පස්සෙ ටික වෙලාවකින් oyata cam ekak, mic ekak nedda... :D අම්මටසිරි වෙනව, දැන්නම් මූ මට ගේම දෙන්න යන්නෙ, මූ හදන්නෙ මට ස්කයිප් එකෙන් කෝල් එක අරන් මාව චා කරන්න, අනිවාර්යෙන්ම මූ දන්න එකෙක්. දැන් ඉතින් මට වැඩේ පැහැදිලි, මූ එන්නෙ මොකාටද කියලත් මට තේරුණා. මම ගත් කටටම නෑ කිව්ව, හැබැයි ඒ පාර නම් මමත් අත ඇරියෙ නෑ, matath asai oyage katahada ahanna, eth mic ekak nene... :( දැන් මුට ෆුල් සැටිස්, බොක්කෙන්ම ටෝක, මම ටිකක් අහුඋනා වගේනෙ. ඊට පස්සෙ මූ katahada ahanna one nam mobile num eka ewannako, mama call ekak aran ikmanata thiyannam.. :D :) :) මම දැන් දන්නව මූ හදන්නෙ මම නම්බර් එක යවපු ගමන් ඒකත් දාල රස කතාවක් හදල මාව චා කරන්න කියල. මම නෙමෙයි යැව්වෙ නොම්මරේ, මම ඒක ගනන් ගත්තෙ නෑ වගේ නිකම් වචන දෙක තුනක් දාල හිටිය.

    මට දැන් ඕනෙ මූව අල්ල ගන්න, මම කලේ නිකම් වල් පල් ටිකක් දාල චැට් එකේ, ඒ කතාව අස්සෙ ස්කයිප් එක ඩයල් කලා, හැබැයි නිකම් නෙමෙයි මම රෙඩි පිට හිටියෙ ඌ කට අරින කොටම සුද්ද සිංහලෙන් ඌව පිලිගන්න... ඔන්න දැන් රිං වෙනව.. ට්‍රීක්.. ට්‍රීක්... මූ ආන්ස්වර් කරන්නෑ, මට දැන් හොදටම ෂුවර් මූ දන්න එකෙක් කියල, එක පාරටම ඉස්සුව, උස්සපුගමන් මම මො.. කියන කොටම හෙලොව්... හෙලෝව්... හෙලොව්ව්ව්ව්ව්ව්..... ඔයාට ඇහෙවද... හොලොව්...?? මල හත්ඉලව්වයි, මම ෆුල් හොල්මන්, තව පොඩ්ඩෙන් මට මාර චාටර් එක. මේ කෙල්ලෙක් කියහන්කො, මම සුද්ද සිංහලට හරවන් හිටපු කට ආයෙ රිවස් කලා, මම හිතන්නෙ ඒකිට මම කියපු එක ඇහුනෙ නෑ, දැන් මට කතා කරන්නත් බෑ, ඇයි මුලින් මම මයික් නෑ කිව්වනෙ, මම චැට් එකේම ගැහුව mata mic nethooooooo කියල. ඒ පාර ඒකිත් කෝල් එක කට් කරල චැට් එකට ආව. මට මාර අවුල දැන්, ඒකි යාලු ෆිට් එකට මාත් එක්ක කතා කොලාම මම නිකම් හිතට ගත්තනෙ කියල. ඒත් මූ නිකම් හරි කොල්ලෙක් උනානම් මල හත් ඉලව්වයිනෙ, මොන දෙයියන්ට කියන්නද. චාටර් වෙන්න වෙනව ලොවෙත් නැති වෙන්න, වෙන එවුන් කොහොම උනත් අපිත් එක්ක ඉන්න එවුන් ෂුවර් නෑ නෙව, උන් කොරන්නෙම මේ වගේ වැඩ නෙව.

ප.ලි. මේක මම ලියද්දි එක හුස්මට ලියල දැම්මෙ කෑලි කෑලි දැම්මොත් කතාවෙ රහ අඩු වෙයි කියල හිතල, මේකත් මෙලෝ රහක් නැද්ද දන්නෑ මේ අයට. මේකෙ අඩු පාඩු එහෙම තියෙනව නම් පෙන්නල දෙන්න ඕනෙ ඕං. මම ඉතින් මේ බ්ලොග් කෙරුවාවට හිංචි එකා නොවැ.

Thursday, January 5, 2012

නුඹව ගෙනල්ල මට හ‍‍ඳෙන් තියන්න පුළුවන්නම්....


නුඹ ඉන්නෙ මගෙන් කිලෝමීටර සිය ගණනක් ඈතින්
ජනේලෙන් පේන හඳ තියෙන්නෙ කිලෝමීටර දස දහස් ගණනක් ඈතින්
හඳ නුඹට වඩා දහස් ගුණයක් ඈතින් තිබිලත් මට හැමදාම පේනව
කිලෝමීටර සිය ගණනක් ඈතින් ඉන්න නුඹ දකින්න
මම දස දහස් වාරයක් කල්පනා කරනව
නුඹව ගෙනල්ල මට හ‍‍ඳෙන් තියන්න පුළුවන්නම්....


ඉදින්නම් දෑස අයා....


"දින්නම් දෑස අයා ඔබ එන තුරු කල්ප කාලාන්තරයක් උවද, 
මගේ කල්පය ඔබ විනාඩි කිහිපයකින් ගෙවා දමනු නිසැකය..."


Related Posts Plugin for WordPress, Blogger...